හෙඩිම දැකල වැරදිලා ක්ලික් කරලා ආපු ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න යන සිංහ පැටව් එහෙම ඉන්නව නම් සොරි, මේක ඔයාලා ගැන නෙවෙයි.
චිත්‍රාල්ගේ ‘නදී ගංගා තරණයේ’ සිංදුවත් එක්ක, ජාතිය මොකක් වුණත් (මට නම් ජාතික ගීයටත් වඩා) ඇඟ කිළිපොලා යන ආඩම්බරයකුත් එක්ක, සියවසකටත් වඩා වැඩි කාලයක්, අපේ සතුටෙදිත් කදුළෙදිත් ළගින් හිටපු, ලංකාවෙ කාගෙත් බියර් තිබහ නිවපු ලයන් බියර් හිටපුගමන් අතුරුදන් වෙලා. මේ දවස්වල බාර්, රෙස්ටෝරන්ට්, සුපර් මාර්කට් මේ කොතනක හරි ලයන් බියර් එකක් හොයගන්න එක, ලංකාවේ කැලේකින් සිංහයෙක්ව හොයාගන්නවටත් වඩා අමාරුයි.
ලයන් කියන්නෙ ලෝකේ තියන හොඳම බියර් එක නෙවෙයි. ඒත් ලයන් ස්ටවුට් කියන්නෙ ලෝක වෙළෙඳපොලේ ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් නිෂ්පාදන කීපය අතරින් එකක්. රටේ ම මිනිස්සු පොඩි ළමයි කියල හිතන ගාණට මතට විරැද්ධ සදාචාරවාදී මතවාද බලවත් වෙද්දිත්, ආණ්ඩුවලින් බදුපිට බදු ගහද්දිත්, සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් සේ හිටපු ලයන්ට ඇත්තට ම මොකද වුණේ?
ඇත්තට ම මොකද වුණේ?
-
ලයන් වගේ ම කාල්ස්බර්ග් බියර් හදන ලයන් බෲවරි එක තියෙන්නෙ බියගම. පහුගිය දවස්වල කැළණි ගඟ ගලපු වෙලාවේ ලයන් ෆැක්ටරියත් ගංවතුරට යටවුණා.
-
අපට ආරංචි හැටියට එයාලගේ උපකරණ සෑහෙන ප්‍රමාණයක් ගංවතුරෙන් හානියට පත්වුණා.
-
සාමාන්‍යයෙන් සති කීපයකට ඇතිවෙන්න බියර් බාර්, සුපර්මාර්කට්වල ගබඩා කරල තියෙන නිසා කාටවත් එකපාරට මේක තේරුණේ නෑ. ඒත් මේ ගැන කලින් දැනගත්ත අය (අපි වගේ) කල් ඇතුව බියර් පැක් පිටින් ගෙනත් ගබඩාකරගත්තා, ඉස්සරහට එන ‘බියර් ඉඩෝරෙට’ මුහුණ දෙන්න.
-
ෆැක්ටරිය යථා තත්ත්වයට ගෙනත් ආපහු වැඩ පටන්ගන්න මාස 2-3ක් යාවි.
-
කොහොම වුණත් ලංකාවේ නිෂ්පාදන යථා තත්තවයට එනකල්, ආසියාවේ තැන් හතරකින් ලංකාවට කාල්ස්බර්ග් බියර් එවන්න යනවා. (හැබැයි ලයන් නෑ)
දැන් ඉතිං වෙන කුමක් කරන්නද?
(අපි වගේ) කල් ඇතුව බියර් ගබඩාකරල තියාගත්ත නැති අයට දැන් විකල්ප කීපයක් තියනවා.
-
කාල්ස්බර්ග් – මිල වගේ ම රසත් ලයන්වලට ගොඩක් කිට්ටුයි. හදන්නෙත් එක ම කට්ටිය නේ. අනික ෆැක්ටරිය යටවුණාට පස්සෙ කොටස් මිලත් අඩුවෙලා තියෙන ලයන්ලටත් පොඩි සප් එකක් දෙන්න පුළුවන් කාර්ල්බර්ග් ගන්න එකෙන්.
-
ටයිගර් – සිංහයො නැති වෙද්දි කොටි ඔළුව උස්සනව නේ. (අර වැරදිලා ක්ලික් කරල ආපු අය මෙච්චර දුර කියවන්නෙ නැති වෙයි කියල හිතනවා 😉 ) සිංගප්පූරු සම්භවයක් තියන ටයිගර් බියර් එකෙත් අපිට හුරු පුරුදු ලාගර් රස තියනවා.
-
සිංහ – ලයන් ලංකාවෙ වුණාට සිංහ එන්නේ තායිලන්තෙන්. ගාණ නම් ටිකක් වැඩියි. ඒත් ඉතිං බෝතලේ සිංහයෙක් ඉන්න බියර් එකක් ම බොන්න ඕන නම් ඉතින් සුපර් මාර්කට් එකකින් සිංහ බියර් එකක් ගන්න පුළුවන්.
හැබැයි ලංකාවෙ ලොකුම බියර් නිෂ්පාදකයා නැතු ව ගියාට පස්සෙ ඒ ඉල්ලුම මුහුණදෙන්න අනිත් අයට අමාරු නිසා හැම බියර් වර්ගයක ම හිඟයක් තියනවා. (හැමදේ ම හරියට වුණොත්) සැප්තැම්බර්වල අපේ සිංහ අභිමානය ආපහු ඒවි. ඒ වෙනකල් මේ අමාරු නියං කාලෙ කොහොම හරි ගෙවාගන්න වෙනවා. ලයන්, අපි ඔයා එනකල් බලන් ඉන්නවා; සාද කතා, හිනා, කඳුළු එක්ක, ආයිමත් බියර් වැස්සෙ තෙමෙන්න.