හොඳ පොතකුයි කෝපි කෝප්පෙකුයි කියන්නෙ පොත්ගුල්ලන්ට නම් ලෝකෙ තියන හොඳ ම එකතුව. පොතක් කියන්නෙ අපි ඉන්න ලෝකෙට එහා වෙනත් ලෝකයක් අපිට විවර කරල දෙන මැජික් එකකට.
අන්තර්ජාලෙ නිසා මුළු ලෝකෙ ම පොත් කියවීමේ පුරුද්ද තරමක් පසුබැස්සා. මේ වෙද්දි මනුස්සයෙක් අවුරුද්දකට සාමාන්‍යයෙන් කියවන්නෙ පොත් හතරක් විතර කියල තමයි කියවෙන්නෙ. ඒත් ඊබුක්ස් වගේ පහසුකම් නිසා අන්තර්ජාලෙ ආශ්‍රය කරගෙන ම පොත් කියවීමේ පුරුද්ද තවදුරටත් පවත්වගෙන යන්න හැකියාව තියනවා. හැබැයි ඉතිං ඒක, පොතක පිටු පෙරළන සද්දෙ අහ අහ, පිටුවලින් එන සුවඳ විඳ විඳ, අකුරු අතගගා බල බල, අතේ තියාගෙන පොතක් කියවන එක තරම් සජීවී නෑ. කොහොම වුණත් එක එක අයගේ කැමැත්ත එක එක විදිහයි නේ. මොන ක්‍රමයකින් හරි කියවන එකයි වැදගත්!
ඉතිං අපි කල්පනා කළා දැනටත් පොත් කියවන, පොත්වලට ආදරේ අයටයි, පුරුද්දක් විදිහට පොත් නොකියවන, හැබැයි කියවන්න ආසාවෙන් ඉන්න අයටයි දෙගොල්ලන්ට ම පොත් ගැන උනන්දුව වැඩි කරන, පොත් සම්බන්ධ හැංගුණු තොරතුරු ටිකක් ඕගොල්ලන්ට කියන්න. බලන්නකො ඕගොල්ලො මේව දැනගෙන හිටිය ද කියල.
1 ටයිප් රයිටරේකින් ලියවුණු පළමු පොත
ලෝකෙ ටයිප් රයිටර් එකක් පාවිච්චි කරල සම්පූර්ණයෙන් ලියවුණු පළමු පොත විදිහට හැඳින්වෙන්නේ මාක් ට්වේන් ලියපු ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටොම් සෝයර්’ පොත. 1875 ලියපු මේ පොත ප්‍රකාශයට පත් වෙන්නේ ඊට පස්සෙ අවුරුද්දේ, ඒ කියන්නේ 1876 දී. ආරංචියේ හැටියට මාක් ට්වේන් ටයිප් රයිටර් එකෙන් ලිවීම ගැන ලොකු පැහැදීමකින් ඉඳල නෑ. හැබැයි අකැමැත්තෙන් වුණත් කොහොම හරි මුළු පොත ම ටයිප් කරන්න තරම් ඉවසීමක් ඔහුට තිබිල තියනවා.
2 පොතක ලියවුණු දිග ම වාක්‍යය
ඕගොල්ලො හිතන්නෙ සාමාන්‍යයෙන් වාක්‍යයකට වචන කීයක් විතර තියෙන්න ඕන කියල ද? දහයක්? පහළොවක්? ඊට වැඩිය ලිව්වොත් කියවන කෙනා හෙම්බත් වෙයි කියල හිතෙනව නේද? හැබැයි දන්නව ද, පොතක ලියවුණු ලෝකෙ දිග ම වාක්‍යයට වචන 823ක් තිබිල තියනවා! මේ දස්කම කරල තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි, වික්ටර් හියුගෝ. ඔහුගෙ සුප්‍රසිද්ධ Les Misérables කෘතියේ තමයි මේ වාක්‍යය තියෙන්නේ. මතක නේ ‘මනුතාපය’ නමින් සිංහලට පරිවර්තනය වුණේ, අන්න ඒ පොත.
3 පස් දෙනෙකුගෙන් එක් කෙනෙක්
විද්‍යාව සහ තාක්ෂණය අධිවේගයෙන් දියුණු වෙන මේ කාලෙ, අපි හිතන්නෙ ලෝකය හරි ම සංවර්ධිතයි කියල නේද? ඒත් තාමත් ලෝකෙ මිනිස්සු පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුට කියවන්න, ලියන්න බෑ කියල අපි කිව්වොත්? පිළිගන්නව ද? අපි මේ කියන්නෙ පුංචි ළමයි ගැන එහෙම නෙමෙයි, වැඩුණු වැඩිහිටියො ගැන. අවාසනාවකට මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වෙලා ඉන්නෙ දකුණු සහ බටහිර ආසියාව සහ උප සහරාන් අප්‍රිකාව.
4 වැඩිපුර ම කියවන පොත්
ලෝකෙ පුරා විසිරිලා ඉන්න පොත්ගුල්ලො වැඩිපුර ම කියවල තියන පොත් වෙන්නේ බයිබලය, හැරී පොටර් සහ ‘කෝටේෂන්ස් ෆ්‍රොම් චෙයාමන් මාඕ සේතුං’ කියන පොත් තුන. මේ ලැයිස්තුවේ ඊළඟට තියෙන්නේ ජේ. ආර්. ආර්. ටොල්කීන්ගේ ලෝඩ් ඔෆ් ද රිංග්ස්, පාවුලෝ කොයියෝගේ ඇල්කෙමිස්ට්, ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්චි කෝඩ් සහ ස්ටෙෆනි මේයර්ගේ ද ට්වයිලයිට් සාගා. මීට අමතරව ගෝන් විත් ද වින්ඩ්, තින්ක් ඇන්ඩ් ග්‍රෝ රිච් සහ ඩයරි ඔෆ් ඈන් ෆ්‍රෑන්ක් කියන පොතුත්, පාඨකයන් වැඩියෙන් ම කියවූ පොත් අතරට අයත්.
5 පරණ පොත්වල සුවඳ
අපි හැමෝම ආස අමුතු සුවඳ ජාති තියනවා නෙ. උදාහරණයක් විදිහට සමහරු ආසයි පෙට්‍රල්වලින් එන සුවඳට. අමුතුයි තමයි, හැබැයි එක එක්කෙනාගෙ හැටි නෙ! ඒ වගේ සමහරු ආසයි පරණ පොත්වලින් එන සුවඳට. කොච්චර අය මේ සුවඳට ආසයි ද කියනව නම් මේකට ම වෙන් වුණු වචනෙකුත් තියනවා. ඒ තමයි ‘Bibliosmia’. පරණ පොත් දූවිල්ලෙන් වගේ ම ඉතිහාසයෙනුත් පිරිල නිසා, පොත්ගුල්ලන්ට නම් ඒව අහක දාන්න හිත හදාගන්න බෑ.
6 දවසට එක පොතක්
මේක අපිට නම් පුදුමය දනවන කරුණක්. හිටපු ඇමරිකානු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් දවසට එක පොතක් කොහොම හරි කියවල ඉවර කරන පුරුද්දක් පවත්වගෙන ගියා ලු. මේ වෙද්දි නම් මනුස්සයෙක් අවුරුද්දකටත් සාමාන්‍යයෙන් කියවන්නෙ පොත් හතරක් විතර කියල අපි උඩ කිව්ව නෙ. ඉතිං හිතාගන්නකො වෙනස!
7 කියවීමෙන් සැනසීම
චිකාගෝ රෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් සිදු කෙරුණු පර්යේෂණයකින් හොයාගත්ත විදිහට, දිනපතා පොත් කියවීමේ යෙදෙන අය, ජීවිතයේ පසුකාලීනව ඇල්සයිමර් වගේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන ප්‍රමාණය අනික් අයට වඩා දෙගුණයකින් පමණ අඩුයි. මේකට හේතුව වෙන්නේ කියවීමෙන් මොළයට ව්‍යායාම ලැබීම. මීට අමතරව දවසට පොඩි වෙලාවක් හරි කියවන්න වෙන් කරන්න පුළුවන් නම්, මානසික ආතතිය අඩු කරගන්න පුළුවන් කියල වෛද්‍යවරු උපදෙස් දෙනවා.