මගේ ගොඩක් ගමන්වල වගේම මේ ගමනෙදිත් ලීඩ් ක්ලයිම්බ් කරන්නෙ එක්කො මම, එක්කො ලසා. ඉතින්.. අනෝරාවට පොඩි ඉඩක් දීලා මම ලසාට කිට්ටු කලා.
“ලසා.. කෙලින් ගල පෙනුනට එක පාරට ගොඩවෙන්න ෂුවර් නෑ බං. මොකද ඈතට පෙනිච්ච නැම්ම පැත්තෙනෙ අපි ඉන්නෙ. ඇරත් කඹ විතරයි තියෙන්නෙත්. ඒ නිසා අපි දෙන්නා පැක් මුංට දීලා දෙපැත්තට විසිට් එකක් දාලා බලමු කොහෙන්ද හොඳ කියලා”
“ඒක නං හොඳ අයිඩියා එක. ඇත්තටම මාත් අන්දුන්කුන්දුන් වෙලා හිටියෙ මෙතනට ආපු වෙලේ ඉඳන්”
දෙන්නගෙ තීරණය අහවරක් වුනාට වැස්සෙ නම් කිසිම අඩුවක් නෑ පේන්න. ඒ නිසාම ලසයි මායි පිහි දෙකකුත් අරගෙන ගෑටුවා ගාල මැද්දට. ගිහිල්ලා හෙව්වට මොකද යාළු මම හැරිලා තියෙන්නෙ තනිකරම නෙරුම පැත්තට. ආයෙ නගිනවා තියා.. ගල් කට්ටෙන් පහළ කෙලින්ම අඩි 70ක විතර ප්‍රපාතෙ. “ෂැහ්.. ලසාටවත් පැත්තක් සෙට් වෙලා තිබ්බොත් හොඳයි” කිය කිය මම ආපහු ආවා කට්ටිය ඉන්න තැනට. ආවාට ලසා ඇවිල්ලා නෑ. එතනින් තමයි මට බලාපොරොත්තුව ආවෙ.
“අරූ මෙතනින්ය බං ගියේ?”
“ඔ් ඔ්.. ඔතන ගැට්ට අයිනෙන් එහාට ගියා එච්චර තමයි. බලාං වැටිලා මැරිලවත්ද කියලා..”
ලසා ගියපු පාරෙ මානගස් හොඳට තැලිලා නිසා හොයාගන්න ආමරු වුනේ නෑ. ඉතින් මං පුලුවන් උපරිම වේගෙන් ඇද්දා ඉමක් පේනකම්. ගිහිල්ලා ලසා ලසා කියලා කෑ ගැහුවා.
“හූ…” වැස්සෙ සද්දෙත් එක්කම ලසාගෙ හූවෙ දෝංකාරෙ.
“උඹ කොහෙද යකෝ..?”
“ඔතන පහල පොඩි කට්ට ටිකෙන් ගොඩවෙලා එන්නෝ.. මෙතනින් ගියෑකි සීන් එකක් තියෙන්නේ..”
හෝ ගාලා ගලන වතුර පාරට එදිරිව ගල දිගේ උඩට.. නැගිල්ල ආමි බූට් දාගෙන කරන්න බැරි නිසා බූට් දෙකත් ගලවලයි මම නැග්ගෙ.
“හම්මට.. සෙල්ලං නෑ හොඳේ. මෙතනට නැග්ගට මේ විදියටම තව තියෙනවනේ..”
“ඔව් ඒ් වුනාට කඹෙන් ගොඩ දාගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ”
“ඒනං මේම කරමු. උඹ ඔතනින් නගින්න පුලුවන් දුරක් නැගලා මහ කඹේ දාහං. මං පොඩි එක අර ගලට දාලා බැහැලා ගිහින් කට්ටිය එක්කරගෙන එන්නං”
තනි දවසෙ ගමන කියලා ප්ලෑන් කලේ. පාන්දර ආවට මොකද එතකොටත් වෙලාව 12ට කිට්ටුයි. වැස්සෙ අඩුවක් බල බල හිටියොත් කොහොමත් යන්න බැරිවෙන නිසා හරි හරියට මම ආපහු ගිහින් කට්ටියට වැඩේ පැහැදිලි කරලා එක්කගෙන ආවා. ඇවිල්ලා පොඩි කඹෙන් මුලින්ම පැක් ටික ඇදලා ඊට පස්සෙ එක එකා උඩට. ඒ අතරට ලසා මහ ගලටම ගාටලා. ඌ උඩ ඉඳන් මොකක්ද කියනව අපිට තේරෙන්නෙ නෑ. කොහොමහරි කඹේ පඳුරු ගොන්නකට දාලා තිබ්බට පහලටම දිගත් නෑ. ඉතින් එක එක්කෙනා පැක් නැතුව ගලේ ටික ටික බඩ ගාලා නතර වෙන්න පුලුවන් තැන්වල නතර වෙවි පැක් ටික කඹෙන් උඩට දැම්මා මුලින්ම. ඊට පස්සෙ මඩ කාගෙන.. පඳුරුවල වාරුවෙන් හෙමි හෙමිහිට නැග්ගා. හප්පේ.. අන්තිමටම ආවෙ මාමා. ඔක්කොමත් හරි ඊට කලින් ඉඳපු අපේ අලුත් එකෙක් ලිස්සුවා.. මං හිතුවෙම අභයභූමි වුනා කියලා තමයි.
මොකක්දෝ වාසනාවකට ඒ වෙද්දි වැස්ස පොඩ්ඩක් පෑදිලා මීදුමක් කිට්ටු කරලයි තිබ්බෙ. ඉතින් රොත්තටම ගල් මුදුනෙ ඉන්න ඉඩකුත් නැති නිසා පිටත්වුනා මාමාව ඉස්සර කරලා ආයෙ, ඉමක් නොපෙනෙන බටගාලක් මැදින් යකින්ණිගෙ ඉස්මුදුනට ගොඩවෙන්න.
ඇත්තම කිව්වොත් ඒ ගමනෙ මගක් අපිට වැරදිලා ආපහු එන්නත් වුනා. කොහොමහරි ඈතට නොපෙනෙන ලොකු තැන්නක් මුණ ගැහුනා හිත හැදෙන්න..
“හදිස්සියක් වුනොත් රෑට මෙතන ඉන්නවා” මම ලොකේෂන් එක සනික ඔලුවට දාගත්තා. දාගෙන ඔන්න පැය බාගෙක විතර ගමනෙන්.. යකින්ණිගෙ ඉස් මුදුනටම. ඒකෙත් අන්තිම ටිකේ පොඩි ගල් කොටයකට නගින්න වුනා. ඒත් නැග්ගට පස්සෙනෙ. හප්පේ.. ලාවට නැම්ම තියෙන පත ගල් තලාවක්. අර එකම අවුට ටෙන්ට් ගහන්න නම් බෑ නැම්ම වැඩියි. ඒත් ඒවා කැලේ.. අපේවුන් පොටෝ ගහනවා, වීඩියෝ කරනවා.. එක කෙලියයි. ඇයි ඉතින් සන්තෝසෙ.. මීට කලින් කිසිම ටීම් එකක් මෙතනට නැගල නෑලුනෙ. මාමත් ඇවිල්ල තියෙන්නෙ දෙවනි පාර. හැබැයි අපි ආපු පැත්තෙන් පළවෙනි පාර.
ඒ යන ආතල් ටිකත් එක්ක මම කොහොමත් හිත හදාගෙන හිටියෙ එක්කො රෑ එළිවෙනකම් පාමුල ලෙන් හොයාගෙන ගාටන්න වෙනවා, නැත්නම් අර පහල පොට් එකේ ඉන්න වෙනවා කියලා. ඇයි එතකොටත් වෙලාව 2 පහුනෙ.
කොහොමහරි ඔන්න 3ට විතර කට්ටිය කෑවා. කාලා ගෙනා දේශීය දෙයිනුත් පොඩියක් ගලපගෙන මීදුමේ සුව විඳිමින් සීතලේ, ගල් තලාවේ.. ඒ අතරෙ එකෙක් වචනෙ දානවා,
“ඒ අපිට මෙතන ඉන්න බෑද රෑට?”
“ඇයි බැරි පුතා.. ඉමු.” මාමා වැඩේ කෑවා. මං හැදුවෙ බැලන්ස් කරලා පහලට ගලපන්න, කොහෙද! හැබැයි එක අතකට ඒ වෙලාවෙ ආපහු ගමන පටන් ගන්නවට වඩා ඉන්න ගත්ත තීරණය හොඳයි. මොකද පාරවල් හොයාගෙනනෙ යන්න තියෙන්න.
කොහොම කොහොමින් හරි රෑ වෙන්න අහස පෑදුණා තරු දිලෙන්න.. මීදුමක් නම් එනවා යනවා. අර එකම අවුල තිබ්බෙ අපිට ගිණිමැලේ අවුල ගන්න එකේ තමයි. දර සියල්ල තෙමිලා නිසා හරිම අමාරු වුනා ඒ වැඩේ.. මුලින්ම පොඩි කෝටු, බට, බටකොළ දාලා ලාවට පත්තු කරගෙන භූමි තෙල් වලින්මයි මහ කඳන් දෙකක් ගලප ගත්තෙ. ඊට පස්සෙ කෑම ටිකකුත් උයාගෙන.. රෑ නින්ද?
හප්පේ.. ඇඟ ගල්වෙන සීතලේ, ගල් තලාවේ. ස්ලීපින්ග් බෑග් බෙදා හදාගෙන, ජැකට් දාගෙන.. කොටින්ම කිව්වොත් නින්දක් නෑ අප්පා..
වෙලාවට ඇඟ රත්වෙන දේවල් ගෙනාවෙ ඇති වෙන්න.