යාන්තම් ඉර එළිය වැටීගෙන එනකොටම උඩු පැලේ ඉඳපු මම..
“ඒහ්.. නැගිටපිය නැගිටපිය. අද අරූව මිස් වුනොත් නම් වැඩක් නෑ බං” දඩිබිඩියට එහා පැත්තෙ ඉඳපු යාලුවට අතින් ඇන්නෙ දවස් ගාණක් තිස්සෙ ටාගට් කරගෙන ඉඳපු කුරුල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් ගන්න අපිට තිබ්බ අන්තිම දවස නිසා. ඊටත් ඒකා ඉන්නෙත් උදේ පාන්දරට විතරනෙ.
ගැම්මට පැලෙන් බිමට බැහැපු අපි දෙන්නා අඩි ගාණක් එපිටින් තියෙන පුංචි වැව් පොඩ්ඩට ගිහින් මූණ කට හෝදගෙන ඇවිල්ලා ලෑස්තිය ඔන්න සනිකව කැළේට රිංගන්න. ඊටත් වෙලාව කියන්නෙ ඒ එක්කම හේනෙ අයියත් කුකුළ අතින් අරගෙනම පහළ වාඩියට..
“මල්ලි අද උදෙන්ම?”
“ඔව් අයියා. සතෙත් ඉන්නවා අල්ලගන්න. මේ ටයිම් එකටවත් යන්න ඔ්න. අපි හවසට ෆන්ෂන් එක දානවා නේ. 5 වෙද්දි ගැලපන්නම් මෙතනටම..”
“හරි මල්ලි. මම එන ගමන් මාළු ඔ්ඩරෙත් දීගෙන ආවෙ. හවසට සෙට්වෙමු. ඔන්න ඔය මඤ්ඤොක්කා ටික අරගෙන යන්න කන්න. ඔයාලට ගෙනාවෙ. ඌරු මස් වගයකුත් ඇති ඔතලා”
එපමණයි ඉතින්.. ඌරුමස් තියෙනවා කිව්වට පස්සෙ දෙන්නගෙ කැමරා කරේ.. යක්කු වගේ අැද්දැද්දෙ කැළේ!
කොහොමහරි ගියපු වැඩෙත් සාර්ථක කරගෙන අපි ආපහු හේනට කිට්ටු කරනකොට 5ත් පහු. ඇඳුම් පිටින්ම ගියා දෙන්නා වැවට, කළුවර වැටෙන්න කලින් හොඳට නාගන්න කියලා. මොකද එහෙන් මෙහෙන් යන කිඹුල් නාම්බෙක් දෙන්නෙක් එහෙමත් ඉන්නවනෙ ඒකෙ.
ම්.. නාගෙන කරගෙන එනකොටනෙ වැඩේ..!
වාඩිය ඉස්සරහ තඩි මුට්ටියක මොනවදෝ තැම්බෙනවා.
“මොනෑයි අයියෙ මේ”
“ම්.. මල්ලි බඩඉරිඟු බතක් ගහන්න කියලා. ලුණු දාලා ඇට තිබ්බා තැම්බෙන්න”
“හප්පට එහෙමෙයි.. එතකොට ඊට පස්සෙ මොකද කරන්නෙ?”
“මල්ලි මේ.. ඇට ටික තැම්බුනාට පස්සෙ වතුර පෙරලා කරලා, මැටි ඇතිලියකට දාලා.. ඒකටම දානවා සේර, ඉඟුරු, සුදුලූණු ටිකක් තලලා. දාලා ඔ්න නම් එනසාල් කරලක්, කරාබු නැට්ටක් එහෙමත් දාන්න පුලුවන්. කොහොමහරි හීනියට ගාපු පොල්.. ගෙඩියක විතර, එකතු කරලා අතින් කලවම් කරන්න ඔ්න හොඳට. කලවම් කරලා දියකිරෙන් තම්බන්නයි තියෙන්නෙ. හැබැයි ඔය දෙවනි තැම්බුම කිරි හිඳෙනකම් විතරයි හොඳද.
“එතකොට මේක කන්නෙ?”
“කන්න..
හදනව මල්ලි වැව්මාලු තෙල්දාලා හොද්දක්”
“හෑ.. වැව්මාලු තෙල් දාලා හොද්දක්?”
“ඔ්.. හැදුවාම බලන්නකො. ෂොටක් එක්ක කට දෙක බහිද්දි නවත්තගන්න බැරිවෙයි මටවත්”
ඒ ටික අහගෙන ඉඳිද්දිම දෙන්නගෙ කටට කෙල උනලා. ඉතින් සනික පැළට ගොඩවුනේ ඇඳුමක් දාගෙන පල්ලෙහාට බහින්න. ඊටත් අයියා මාළු එක හදන්න ගන්න කලින් අපි දෙන්නා ගිණිමැලේ අටවන්නත් එපැයි. මොකද ඇඳිරි වැටුණත් හරි, අලි.. ඔහොම මෙහෙම!
දල වශයෙන් පැය බාගයක් විතර යන්න ඇති වැඩේට. ගිණි මැලේ අහවරයි, වාඩියට කිට්ටු කරද්දි අයියා මාලු ටික සුද්ද කරලත් ඉවරයි. ඒ අතරට ඉතින් අපි දෙන්නා තල කොලයක් එහෙමත් පත්තු කරගෙන ඇණ තියාගත්තා ලිප ගාවින් ලාවට තිබ්බ සීතල මැකෙන්නත් එක්ක කියලා.
හේදිච්ච මාලු ටික කූරි පිටින්ම ලොකු මැටි ඇතිලියට. ඊට පස්සෙ ඒකට වැටුණා සුදුලූණු තොගයක්, කෑලි මිරිස්, මිරිස් කරල්, කොච්චි එක්ක රම්පෙ කරපිංචා. අන්තිමටම ඒකටම පොල්තෙල් කාලක් විතරත් දාලා ඔන්න හෝස් ගාලා ඇවිලෙන ලිපට. අපි මුලින්ම හිතුවෙ වැඩේ නිකම් චොර වෙයි කියලා. මොකද, මොන දේ ඉව්වත් අපි නම් මුලින්ම කරන්නෙ තෙල් රත් වෙන්න තියනෙ එකනෙ. ඒත් මේකෙ එහෙම නෑ. දර ගින්දර රස්නෙට මෙන්න විනාඩි 3, 4 යද්දි තෙල් ටික බුබුලු ද දා..
දාපු අඩුම කුඩුමත් කරවෙලා සුවඳේ බෑ. අනික මාළු ටිකත් බලදන් ඉඳිද්දි පාට වැටිලා ආවෙ. ම්.. වැඩේ කොහොමත් විනාඩි 10, 12 යද්දි ඉවරයි.
ඊට පස්සෙ අපි බලන් ඉන්නවා කිරි හරි මොනවා හරි දාලා හොද්ද හදනකම්. අඩේ.. ඒක එහෙම නෙවේ කියන්නකො. මුලින්ම ඒ ටික බානවා ලොකු දැලක් උඩට, කරවෙච්ච අඩුම කුඩුම හැලිලා යන්න. ඊට පස්සෙ මාළු ටික අරගෙන ඒ ඇතිලියම හෝදලා ලිපේ තියලා..
ඒකට දාලා..
ලූණු, මිරිස් කුඩු, රම්පෙ කරපිංචා, ගොරකා, සුදුලූණු, ලුණු, බැදපු තුනපහ, කහ, විනාකිරි එහෙමත් දාලා හොඳට අතගාලා වතුර දාලා ලිපේ තියනවා මද ගින්නෙ හිඳෙන්නම.
ඒ හිඳුනට පස්සෙන.. බොරත් එක්ක මාලු, ඉරිඟු බතට.
මාළු කූරි වෙනමම බයිට් එකට! හප්පේ.. කාපූ කෑමක්, බීපු බීමක්..
පංකාදු රසට, අමර පදමට..
බඩ ගාගෙන වගේ ගියේ උඩ පැලට ඔ්ං…