රස්සාවට වඩා අමාරුයි කියනවනේ පරස්තාව. දැන් කට්ටිය කසාද බැඳලා ඒ අනිත් පැත්තට දික්කසාදෙට ෆයිල් අමුණන හැටි දැක්කම නම් ඕකත් මහ කජ්ජක්ද කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත්, මානව ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට මේ “විවාහය" කියන මාතෘකාවට ලැබෙන්නේ සෑහෙන ඉහළ තැනක්. කැපකිරීම් ගාණක් කරන්න වෙන, පවුල කියන සංකල්පයට නීතිමය පදනම හදන දෙයක් නිසා තමයි මේක මෙච්චර බරපතල විදියට සැලකෙන්නේ.
පුරාණ ශ්‍රී ලංකාවේ විවාහත් එක්ක, අද කාලේ වෙන විවාහ සලකලා බැලුව ම, සෑහෙන්න වෙනසක් තියෙනවා. එදා තිබුණු, අද නැති විවාහ චාරිත්‍ර ගැන ගැනත් පහුගිය දවසක අපි කතා කළේ ඔන්න ඔය වෙනස නිසාමයි. හැබැයි අපි අද මේ කියන්න යන්නේ පුරාණ ලංකාවේ තිබුණු විවාහ ක්‍රම කීපයක් ගැන.
1. දීග විවාහය
Image Credits : lankapura.com
උඩරට පැත්තේ ප්‍රධාන වශයෙන් ම විවාහ ක්‍රම දෙකක් දැකගන්න ලැබුණා. ඉන් එකක් තමයි මේ “දීග විවාහය”. උඩරට ප්‍රදේශයේ ඉන්න පවුල් අතරේ දැනටත් බහුලව සිද්ධවෙන විවාහ ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
දීග විවාහයේදී පවුලේ ප්‍රධානියා විදියට සැලකෙන්නේ ස්වාමි පුරුෂයායි. සරලව ම ගත්තොත්, මෙතැනදී වෙන්නේ විවාහයෙන් පස්සේ බිරිඳ, ස්වාමිපුරුෂයාගේ ගෙදර ජීවත්වීමට යාමයි. සැමියාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු හැමදෙනා එක්ක වාසය කරන්න බිරිඳට මෙහිදී සිද්ධවෙනවා. ඔය නැන්දම්මා-ලේලි ගැටුම එහෙම ඇවිලෙද්දී, ඒකට පිදුරු දාන්නත් මේ ගෙවල්වල ඕනෑ තරම් කාණ්ඩෙ හිටියා.
ඒත් බිරිඳ සතු යම් දේපලක් තියෙනවනම්, ඇගෙන් අවසරයක් නැතිව ඒවා පැවරීමේ, තෑගි දීමේ, අලෙවි කිරීමේ හෝ උකස් තැබීමේ කිසිම බලයක් සැමියාට හිමිවෙන්නේ නැහැ.
2. බින්න විවාහය
Image Credits : silumina.lk
උඩරට පැත්තේ දැකගන්න ලැබුණු අනිත් විවාහ ක්‍රමය වුණේ “බින්න විවාහයයි”. විවාහයෙන් පස්සේ, සැමියා බිරිඳගේ නිවසේ පදිංචියට යාම තමයි මේකෙදී වුණේ.
මේ වගේ පවුල්වල ගෘහ මූලිකයා වෙන්නේ බිරිඳයි. පුතුන් නැති, දියණියන් විතරක් ඉන්න පවුල්වල දේපල පිටට යවන එක නවත්තන්න තමයි මේ විදියේ විවාහ කරන්න හේතුව. බින්න විවාහවලදී, ඒ වගේ දේපල සේරම දුවගේ පාලනයට යටත්වෙලා තියෙනවා. මේ පාලනය කොච්චර දරුණුයිද කිව්වොත්, මේ විදියට කසාද බැඳපු යුවලකට ලැබෙන දරුවන්ට, ඒ බිරිඳගේ, හෙවත් දරුවන්ගේ අම්මගේ වාසගම දාන්න පවා පුළුවන්. දේපල පාලනය සම්බන්ධයෙන් කිසිම අයිතියක් මේ පවුල්වල සැමියන්ට ලැබෙන්නේ නැහැ. බිරිඳගෙන් අහන්නේ නැතිව ඒවා පවරන්න, තෑගි දෙන්න, අලෙවි කරන්න හෝ උකස් කරන්නත් සැමියාට කිසිම අයිතියක් නැහැ.
සමහර පැරැන්නෝ බින්න විවාහය සැලකුවේ පිරිමි පෞරුෂයට මදිකමක් විදියට. ඒ වගේ සැමියෙක් “නිදාගන්න ඇඳ පාමුල හැරමිට්ට්කුයි, හුළු අත්තකුයි, තල් අත්තකුයි තියාගන්න ඕනේ" කියන කතාව හැදුණෙත් ඒ නිසාමයි. මොකද බිරිඳගේ ගෙදර අයත් එක්ක රණ්ඩුවක් වුණොත්, හැරෙන තැපෑලෙන් ගෙදරින් එළියට බැහැලා යන්න වෙනවනේ. ඉතින් රෑ ජාමේ මේ අකරතැබ්බේ වුණොත් පාර හොයාගන්න හුළු අත්තකුත්, වැස්ස වෙලාවක යන්න වුණොත් වැහි වතුරෙන් ඔළුව බේරගන්න තල් අත්තකුත් ලෑස්ති පිට තියාගන්න කියලා තමයි මේකෙන් කියවුණේ.
3. එක ගෙයි කෑම
Image Credits : divaina.com
මුලදී නම් එක ගෙයි කෑම වැඩිපුරම දැකගන්න ලැබුණේ ධනවත් පවුල්වල. ඒත් කල් යද්දී මේක සාමාන්‍ය පවුල් අතරටත් ව්‍යාප්ත වුණා.
ධනවත් පවුලක සොහොයුරන් දෙදෙනෙක්ට, බිරින්දෑවරු දෙන්නෙක්ව ගෙනාවොත්, ඒ පවුලේ දේපල දෙපැත්තකට බෙදිලා යනවනේ. එක ගෙයි කෑම විවාහ ක්‍රමයක් වුණේ ඕකට පිළියමක් විදියට. මේක සිද්ධවුණු විදි 3ක් තිබුණා. ඒ,
- සොයුරන් දෙදෙනකුට එක කාන්තාවක්,
- සොයුරියන් දෙදෙනකුට එක ස්වාමිපුරුෂයෙක් සහ,
- සොයුරන් දෙදෙනකු විවාහ දෙකක් කරගෙන එක් සොයුරකුගේ අඹුව මිය ගිය පසු දරුවන් නොමැති අවස්ථාවලදී වැන්දඹු වන පුරුෂයා ද සොයුරාගේ බිරිය සමඟ එක් ව පවුල් කෑම
විදියට.
මේ කොයි තත්ත්වේ යටතේ එක ගෙයි කෑවත්, ඒකට සම්බන්ධ වෙන පිරිස අනුගමනය කරපු පුරුදු කීපයක් තිබුණා. සාමාන්‍යයෙන් කොහෙහරි ගිහින් ගෙදරට එද්දී, තමන් පැමිණි බව දැනුම් දීමේ අරමුණින් උගුර පැදීම, මේ වගේ එක සිරිතක්. ගෙදරට ගොඩ වැදෙද්දී පේන මානයේ තමන්ගේ සොහොයුරාගේ දිය කෝනම හෙවත් අමුඩය වනලා තියෙනවද බැලීම අනිත් සහෝදරයාගේ වගකීමක්. අමුඩය ඇති නම්, ඒකෙන් කියවුණේ තමන්ගේ සොහොයුරා ගෙදර ඉන්න බවයි.
තමන්ගේ අවශ්‍යතා ගැන බිරිඳත් එක්ක කතා කරලා, ඒවාට නියමිත දින වකවානු වෙන් කරගන්න එක සහෝදයන්ගේ සිරිතක්. තමන් ඉන්නේ සැමියත් එක්ක බව අනිත් සහෝදරියට අඟවන්න දොර ලෑල්ලේ චීත්තයක් වනන්නත් ඔවුන් පුරුදුවෙලා හිටියා. අනික බාලයා කියලා වැඩි අයිතිවාසිකම් ඉල්ලන්න එහෙම බැහැ. හැමවෙලේම වැඩිමලාගේ අදහසට හිස නමන්නත් ඕනේ.
හැබැයි මේ විවාහ සංස්ථාවල ගැටුම් නොතිබුණා ම නෙවෙයි (විශේෂයෙන් ම සොයුරියන් දෙදෙනෙක්ට එක සැමියෙක් ඉන්න පවුල්වල). තමන්ට ලැබෙන අයිතිවාසිකම්, වගකීම්වල අසමානකම් නිසා තමයි වැඩියත් ම මේ ගැටළු ඇතිවුණේ.
4. ඇවැස්ස විවාහය
Image Credits : lanka-e-library.blogspot.com
"වැහිදිය අයිති ගං හෝ සමුදුරටයි – මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි – නෑනා අයිති කාටද මස්‌සිනාටයි"
ඒ කාලේ ජන සමාජයේ ඇවැස්ස නෑකමට, විවාහයට තිබුණු තැන ගැන මේ වගේ කවිවලිනුත් පැහැදිලි වෙනවා. වෙනම කාණ්ඩයක් විදියට වෙන් කරන්න අමාරු වුණත්, මේ විවාහ ක්‍රමය ගැනත් පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා හිතුවේ ඒකයි.
මහනුවර යුගයේ හොඳ ම විවාහ ක්‍රමය විදියට සැලකුණේ මෙයයි. මේ ක්‍රමයට අනූව, සහෝදරයෙකුගේත් සහෝදරියෙකුගේත් පවුල් දෙක අතර විවාහ සිද්ධවෙන්න පුළුවන්. නෑකම නිසා, පොඩි කාලේ පටන් මේ දෙන්නා අඳුනාගැනීමට අවස්ථාව ලැබෙන නිසා, මේ වගේ විවාහ සාර්ථක වෙන බවට මතයක් ගැමියන් අතරේ තිබුණා. ඇවැස්ස මස්සිනා ඉද්දී, නෑනා කෙනෙක් වෙන පුද්ගලයෙක් එක්ක දීග යනවනම්, ඇවැස්ස මස්සිනාගෙන් අවසරය ගත යුතුය යන සිරිත ඇති වුණෙත් මේ නිසයි.
5. හඳ පානේ පැන යාම
“ගල්මුල්වල පය පැකිලී වැටි වැටි – මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කවුද?
මගේ රත්තරන් හෙලේනා"
අහලා තියෙනවා නේද රෝහණ බැද්දගේ මහත්මයාගේ මේ ගීතය?
පුරාණ ලංකාවේ විතරක් නෙවෙයි ඉතින් මේක අදටත් දැකගන්න පුළුවන්. තමන් කැමති තරුණිය හෝ තරුණයා ගැන පවුල්වල අකමැත්තක්, විරෝධයක් තියෙනවනම් මේක තමයි ඉතින් දෙන්නට එක ගෙයක් යටට වෙන්න තිබුණු එකම විකල්පය. මේක “හඳ පානේ පැන යාම" විදියට හැඳින්වෙන්නේ, ගොඩක් වෙලාවට මොවුන් පැනලා යන්න හඳ ඇති රාත්‍රියක් තෝරාගත්ත නිසයි.
රොබට් නොක්ස් ලියපු, ඩේවිඩ් කරුණාරත්නයන් පරිවර්තනය කරපු “එදා හෙළදිව" පොතෙත්, තවත් මේ වගේ කතාවක් සඳහන් වෙනවා. ඔහු සඳහන් කරන විදියට, මනාලිය ඉස්සර කරගෙන යෑම ගැමියන් පටන් අරගෙන තියෙන්නේ මනාලයා පෙරටුව ගමන් ගත්ත වෙලාවක, ඔහු නොදැනුවත්ව ම වෙන එකෙක් විසින් මනාලිය ව පැහැරගෙන ගිය සිද්ධියක් නිසා ලු.
හඳපානේ පැන යන ජෝඩු, දීග යන ගැහැණු වගේ ම, බින්න බැහැපු පිරිමිත් අද සමාජයේ ජීවත් වෙනවා. ඇවැස්ස විවාහත් සම්පූර්ණයෙන් ම නැතිවෙලා නැහැ. එක ගෙයි කෑම නම් අපේ සමාජයෙන් තුරන් වුණු ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. මේ කොහොම වුණත්, දැන් සමාජයේ බොහෝවිට දැකගන්න ලැබෙන්නේ නීතියට අනුකූලව වෙන විවාහ විතරයි.