මීදුමෙන් පිරිලා ඉතිරලා ගියපු පාර දිගේ අපි රිවස්ටෝන් පල්ලම බැස්සෙ පිටවල, රත්නින්ද හරහා ඇටන්වල ගමට යන්නයි..
ඒ අනික් පැත්තටම ඉලුක්කුඹුරට මෙහා පුවක්පිටිය, පොත්තටවෙල පැත්තෙ කැළෑ ටිකට පීරන්නයි. ඒකට.. විශේෂ හේතුවකුත් තිබ්බා.
මගේ.. යාළුවෙක්ගෙ රිසර්ච් එකක්!
දන්නෙ නැද්ද ඉතින් නකල්ස් කිව්වාම? ගෙම්බො, කටුස්සො, හූනොනෙ උඩින්ම ‘සොයා නොගත්’ ලැයිස්තුවෙන් යන්නෙ.
ම්.. ඒ කාරණාව පැත්තකින් තියමුකො. ඔන්න කොහොම කොහොමින් හරි අපේ ගමන..
ඇරඹුම ඇටන්වල ගමෙන් වුනාට වැස්ස කාලෙ ඉවරවෙච්ච ගමන්ම වගේ නිසා අදාළ සත්ව විශේෂයේ පැතිරීම ගැන හරි හැටි හෝඩුවාවක් ලයින් කරගන්න බැරි වෙච්ච නිසා අපි ඒ ගැම්මටම ඇද්දා පුවක්පිටියට. ඇදලා හිටං ඔන්න ගමෙත් කෙළවරටම වගේ ගිහිල්ලා එතනින් එපිට.. ඝන කැළේ නම් නෙවෙයි, හැබැයි සතා සීපාවා එමට. ඊටත්.. දඩයමට මදු බැඳපුවත් තියෙනවැයි කිව්වෙ.
“මල්ලි ඔ්ං පරිස්සමට බලාන එන්න ඔ්න ඈ.. මං ඉස්සර වුනාට, ලෙන් පැත්තට යනකං සත පහකට ෂුවර් නෑ”
“හා අයියා. එතකොට අපී.. ඊට කලින් අර බෝඩරේට යනව නේද?”
“ඔව් ඔව් අපි එහෙටත් ගැලපිලාම යමු. හැබැයි රෑ වෙන්ට කලින් යා ගන්න ඔ්න නිසා, නිකම් පාර විතරක් පාදගෙන ගිහිල්ලා.. හෙට පාන්දරින්ම අල්ලලා වැඩේට බහිමු”
“ආහ්.. ඔව් නේ. ඒක හොඳ අදහස අයියා. එහෙම කරමු”
ලොකු ලී රිටවල් 3ක්ම ඉස්සර කරගෙන, අපි තුන්දෙනා පේලියට කැලේට. ම්.. ඉස් ඉස්සෙල්ලාම ගොඩවුනේ නම් යාළුවගෙ වැඩේට අවශ්‍ය කරන ප්‍රදේශයට. හැබැයි ඒ හරියෙ වැඩි වෙලාවක් ඉන්න හම්බවුනේ නෑ. මොකද ඒ වෙනකොටත් රෑ අඳුරෙ සේයා බිමටම පතිත වෙලයි තිබ්බෙ. ඉතින් අපි ගත් ගැම්මටම ගියා කඳු දෙකකින්ම එපිට පුංචි පහේ ලෙන් ටිකක් තියෙන පැත්තකට. හදිස්සියකට පතබෑවෙන්න තියෙන වැස්සකින් හරි බේරෙන්න බැරියැ එහෙම සෙට්වුනාම.
“ම්හ්.. කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැති පාටයි. කිව්වට විශ්වාස කරන්න මල්ලි මේ ලෙන්වල තමයි දඩයමේ යන උන් රෑට රකින්නෙ. ඔය සද්දෙ ඇහෙන පහළ දොළ පාරත් ලේසියකට හිඳෙන්නෙ නැති නිසා උන්ට හරි ජයයි මෙතන. සත්තු සුද්ද කරලා, හදාගෙන කාලා, වඩි ගෙනැල්ලා බීලා.. කොහෙද පොලිසිය එන්නෙත් නෑ, ඔ්ං එකම එක පාරක් කොමාන්ඩෝ එකෙන් දාලා සෙට් එකක් අල්ලගෙන ගියා, ඒත්.. තව ඉන්නවනෙ ඉතිං”
“හ්ම්.. ඒවා අයියා ඉතිං අපිට නවත්තන්න පුලුවනෑ. ඒක නෙවෙයි, අපී.. පහළ දොලට ගිහින් නාගෙන කරගෙන ඇවිල්ලම මොනවහරි හදලා කාලා සනික ඇලවෙමු නේ. මොකද 5ටවත් ඇහැරෙන්න වෙයි අහරෙට ඇදගන්න”
“ආ.. මල්ලිලා මෙහෙම කරමු ඒනං. ඔයාලා ගිහින් නාගෙන කරගෙන එන්ට. මං උයන්නං. පස්සෙ කන්ට කලින් මට පොඩියක් හෝද ගත්තාම ඇතිනැ”
“එහෙමද? එහෙනං අයියා අපි ගිහින් එන්නං. එද්දී.. බූලියට වතුරත් අරගෙනම එන්නංකො.”
කියලා හිටං ඔන්න කළුවරේම ගැටුවා සද්දෙ ඉම තියාගෙන. ගාටලා හිටං ඔයට මතුවෙච්ච තැනම ලොකු වලෙන් හොඳහැටි නාගෙන එනකොට..
“සුවඳ? අඩේ මූ රයිස්, කොත්තු දානවා වත්ද බං”
“හෑ.. ඒක තමා මාත් බැලුවෙ” කියලා අඩියට දෙකට ලෙනට ගොඩවෙද්දිං.. ගල් තුනේ ලිප උඩ තඩි රොටි දෙකක්. තව දෙකක් තුනී කරපු කැන්ද කොලයක් උඩ. ආයෙ වඩෙත් තිබ්බා ගෙදරින් බැදගෙන ආපු, ලොකු බෝල් එකක් පිරෙන්නම”
“අයියා මොකක්ද අප්පා ඒ සුවඳ?”
“මල්ලී.. මේක ඔ්ං මීතෙල් කර වෙද්දි එන සුවඳ නෙවැ”. අපි මෙහේ වැස්ස කාලෙට පොල් හිඟත් එක්ක මී ඇට ඇන්න ගිහින් තෙලි හිඳිනවා. හිඳලා ඒවා තමා කෑමට ගන්නෙ. ආයෙ පොල්තෙල් වගේන නෙවේනෙ, කොලෙස්ටරෝල් අනං මනං මුකුත් නෑ. මේං.. බලන්නට සුවඳ?”
“නහයට කලාට මට නං ඒ හැටි ගතියක් නෑ. හැබැයි මීතෙල කර වෙද්දී..
ෂැහ්! ඊටත්.. ඔක්කොම ඉවර කරලා, කෑමට වාඩි වෙද්දි? කොච්චි දාපු කට්ට සම්බෝලයයි, කොචිචි දාලා මීතෙලෙන් බැදපු පරිප්පු වඩෙයි, මීතෙලෙන් පුච්චපු කී රොටියි (හාල්පිටි රොටි).
කෑවා නෙවෙයි මගෙ දෙයියෝ.. රෑ දෙකකට ගෙනාපු පොල් අරක්කුවෙ කාලයි ඉතුරු අන්තිමට. ගසලා නසරානි වෙන්න..
ඇයි ඉතින් තනිකට හායි හූයි බයිට් එකක්නෙ බොල!