“හානේ… ඒ, මේං බලන්නකො. මෙන්න, කොළඹ පුතා අළුත් අවුරුද්දට මෙහේ ඇවිත්”
“හෑ.. කෝ බලන්න, මයෙ අම්මේ…, කොල්ල රැවුල වව..ලා, කොණ්ඩෙ වව..ලා. දැන් හරි හැඩයිනෙ අප්පා. හා හා ඒකට කාරි නෑ මයෙ කොල්ල, ඔතනින් ඈඳි ගත්ත නං. මේහ්.. කොල්ලට බොන්න වෑවර ගෙඩියක් කපාන වරෙන්කො ඉතිං”
කියන්න සන්තෝසයි යාළු ලුණුගම්වෙහෙර නැන්දලයෙ දිහාවට ගොඩවෙන්න හම්බවුණේ නෑ, උණුසුම් පිළිගැනීම. ආයෙ එපා කියන්නයැ, මාමටයි නැන්දටයි වැඳලම තමයි මම ගෙට ගොඩවුණේ.
ඉස්සර ඉඳන්ම මට තිබ්බ පුරුද්දක් තමයි, ගියපු ගමන් කුස්සයිට රිංගන එක. මොකද හතර වටින් හේන කොරටු නිසා කොයි වෙලාවෙ වත් කෑම බීම වරදින්නෙ නෑ. ඉතිං ඒ පුරුද්දට මම, මාමයෙ කතා බහට කණ දෙන ගමන් හෙමිහිට කුස්සියට ගියා.
නැන්දා පිළ උඩ තියාගෙන කුරුම්බා ගෙඩිය කපනව. වටපිට බලපු මම හොරාට ළඟ තිබ්බ ලොකු මුට්ටිය ඇරලා බැලුවා. හප්පොච්චියෝ, මොනවදෝ බතක් වගේ එකක්. සුවඳේ බෑ. ඊටත් කටට කෙල උනන්නෙ එහා පැත්තෙන් තියෙන කට්ට සම්බෝලෙ දැක්කාම.
“ආං කොල්ල, ලොකු වුණාය කියල පරණ ගති නං පොඩ්ඩක්වත් ඇරිලා නෑ” ෂැහ්, බතට කෙළහලනව, නැන්දට මාට්ටු කියන්නකො. වෙලාවට එයාලා මගේ හැටි දන්නව. අවුලක් නෑ, ෂේප්!
“මයෙ පුතා මේක බීලා හිටින්නකො. තිබහ යන්ට ඇරලා, වැවෙන් නා ගමු. ඊට පස්සෙ බැරියැ බත් ගිලින්න. මම හීන් සැරේට ලිප අවුලල බත රත් කරන්නම්”
“හා නැන්දෙ, ඒත් මොනවද මේ බත්. නිකං කිරිබත් වගේ. හැබැයි කහ පාටයිනෙ”
“ආ… පුතා, මේ ඇවිල්ලා මෙනේරි බත්. හරි ගුණයි. ඇරත්, ඇඟටත් හරි හයියයි. කොළඹ පැත්තෙ ඕව හොයාගන්න නැතුව ඇතිනෙ. මම පුතාට ගෙනියන්නත් ගෝනියක් ගහල දෙන්නම්”
“ඒත් නැන්දෙ මේවා උයන්නෙ කොහොමද? මම දන්නෑනෙ”
“ආ.. පුතා නොදන්නව වුණාට මොකෝ, අම්ම දන්නව ඇතිනෙ. හ්ම්ම්… ඒකට කමක් නෑ, එහෙනම් අහගන්නකො.
මුලින්ම මෙනේරි හාල් හොඳට හෝදල ගරාගන්න ඕන. මොකද හීං ඇට ධාන්‍යෙ නිසා ගල් වැලි එමටයි. ඊට පස්සෙ ඉතිං මුට්ටියට දාලා ඔය බත් උයනව වගේම තම්බ ගන්නයි තියෙන්නෙ. වතුර දාන කොට මෙනේරි හුණ්ඩුවකට වතුර කෝප්ප 4ක් වගේ දැම්ම නං හරි මයෙ පුතේ. විනාඩි 10, 15 යද්දි වතුර බාගෙට හිඳිලා බත තැම්බීගෙන එනකොට… හැඳි මිටෙන් පොඩ්ඩක් කූරු ගාලා බලා ගන්න ඕන බතේ තෙත ගතිය හොඳට තියෙනවද කියල. ඒං හරි කියන්නෙ පොල් දාන්න කියාපු වෙලාව. හැබැයි එකක් මතක තියා ගන්න, පොල් කලින් ගාලා තියා ගත්තා වගේ නෙවෙයි, පොල් ටිකට ලුණු දාලා පදම් කරන්නත් ඕන. මොකද පස්සෙ ලුණු එකතු කළාට මෙනේරි බතේ රස හරියට එන්නෙ නෑ. ඔතනදි පුතේ මෙනේරි හුණ්ඩුවකට පොල් බෑයක වත් පොල් දාන්න ඕන. ලුණු නම් තේ හැන්දක් වගේ දැම්ම නම් ඇති. ඊට පස්සෙ ඉතිං බතේ වතුර හිඳිලා හොඳට ඉදෙනකම් කූරු ගාන්ට වෙනව”
“මෙනේරි බත් උණු උණුවෙං ගිලිනව නම් ඉතිං හොඳ හැටි උම්බලකඩ, කොච්චි මිරිස් දාපු කට්ට සම්බෝලයක් තමයි. ඒත් මාමානං නිවෙන්ට ඇරලා කිතුල් පැණි එක්කත් දෙසා බානව”
“හා, මයෙ පුතා දැන් යන්නකො වැවට, නා ගන්න. ඉක්මට ආවොත් කට්ට සම්බෝලෙ එක්ක මෙනේරි බත් ගිලල, කටේ සැර මැකෙන්න කිතුල් පැණි එක්කයි, වැලි හකුරු එක්කයිත් රස බැලුව හැකි ඔන්න!”