ආතක් පාතක් නැතුව ගමන් බිමන් යන අපි..
මතකය 2015 හෝ 2016 අගෝස්තු, සැප්තැම්බර් මහ නියඟය මැද්දේ..
හරාගෙ බෙන්ලියෙ, කදමලු බැඳගෙන දඹුලු පුරවරයේ හේන් සංචාරයක යන්නයි අපි පිටත් වුනේ. ඒ කාලෙ ඉඳන්ම ලොකුවට හොයලා බලන්නෙ නැතුව ගමන් යන එක පුරුද්දනෙ ඉතින්. ඒකෙන් මේකෙන් වුනේ කොහොමහරි මගක් යද්දිම.. හතර දිග්බාගෙම වේළිලා කරකුට්ටං වෙලා ගිහින් කියල දැනගත්තු එක. එහෙමයි කියලා ගමන ආපහු හරවන්න අදහසක් තිබ්බෙත් නෑ.
ඉතින්.. දඹුල්ල ටවුමෙන්ම පුලුවන් තරම් අපි වතුර ස්ටෝ කරගත්තා. කරගෙන.. ඔන්න කණ්ඩලම රවුමත් ගහගෙන හෙමින්සැරේ කලුන්දෑව ගමෙනුත් එපිට හේනකට..
කිට්ටු කරද්දි ඇත්තටම හවස 3ත් පහු. ඊටත් ඉස්ඉස්සෙල්ලාම ගොඩවුනේ කලින් කතාකරලා තියාගත්තු ගමේ පුංචි ගෙදරකටනෙ. ඉතින් ගෙනිච්ච තෑගිබෝගත් ගෙදර අයට දීලා, තේ කහට උගුරක් බීපු සනික, ගෙදර මාමාත් එක්කම අපි වැව් ඉස්මත්තක තිබ්බ පුංචි හේනට.
ගිහිල්ලා කරලා බයිසිකලෙත් අකුලකට කිට්ටු කලා අලින්ගෙන් බේරගන්න. කරලා තමයි පයින් ඇද්දෙ හේන මැද්දෙ උඩු පැලට. ඇදල ඉතින්.. ලොකු වෙලාවක් තිබ්බෙත් නැති නිසා මාමාගෙ උපදෙස් අනුව හැන්දැවෙන්න කලින් වැව් ඉවුරට බැහැලා නාගෙන අපි ආයෙත් පැලට.
එද්දි මෙන්න පැල පාමුල පොඩි ගල් ලිපක ලොකු මුට්ටියක්..
“මොනවැයි මාමෙ මේ හදන්නෙ. රෑට නම් ලොකු දේවල් ඔ්න නෑ හොඳද”
“ම්.. පුතා..
කිව්වට විශ්වාස කරන්න.. මේ කාලෙ කොහොමත් ලොකු දේවල් නෑ අපේ ගම්වල. ගිරීස්මෙට අහුවෙලා බෝග ඔක්කොම නාස්තියි. හාල් ඉතිරිය තියාගෙන ඉන්න නිසයි මේ මිනිස්සු කන්නෙ බොන්නෙ.
අනේ පුතා මං මේ හදන්න යන්නෙ මේ කාලෙට අපිට තියෙන එකම මාලුව. මේක හදලා අපි බතක් ලිපේ තියාගමු”
පොඩි මාලුව?
මට ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද ඒ වෙද්දිත් ලිපට එපිටින් තිබ්බ ලී කොටේ උඩ එළවළු ජාති 8, 10ක්ම. හැබැයි බැලූ බැල්මට ෆ්‍රෙෂ් ඒවා නම් නෙවෙයි. තලන බටු ලපටි ගෙඩියි, ඉදිච්චයි. මඤ්ඤොක්කා අලයක් තිබ්බා කේඩෑරි වෙලා ගියපු. තිබ්බටු ටික නම් අලුත් වගේ. හැබැයි වට්ටක්කා පොඩිම පොඩියි. කොහෙන්දෝ දන්නෑ කුරක්කන් මිට දෙකක් විතරත් තිබ්බා. ආයේ.. මෑකරල් විතර හීනි මුරුංගා කරල් 2, 3කුයි, බාගෙට ඉදිච්ච තුඹ කරවිල ගෙඩි ටිකකුයි.
ඔය අතරෙ මාමා වැව් ඉවුරට වෙන්න තණගාලෙ හැදිච්ච ලපටි මුකුණුවැන්න ටිකකුත් කඩාගෙන ආවා.
ඇවිල්ලා ඉතින් අර උතුරන්න තියපු වතුර මුට්ටියට ඔක්කොම දැම්මා, හොඳට හෝදලා කරලා ලොකු කෑලි කපලා. දාලා ඒකට ලුණුත් දාලා හින්දුවා.
අපිත් ලිප අයිනෙන් ඇණ තියාගෙන ඔන්න හ්ම් සද්ද නෑ වැඩේ බලාගෙන.
ඊට පස්සේ.. එළවළු ටික ලොකු කැන්ද කොලයක් උඩට බාලා මුට්ටිය ආයෙත් ලිපට. තියලා ඒකට දැම්මා පොල්තෙල්. දාලා රත්වීගෙන එනකොටම කරපිංචා, සුදුලූණු ටිකක් එක්ක ඉදිච්ච අමු මිරිසුයි, කොච්චි ගෙඩි 4, 5කුයි. ඒටිකත් බැදීගෙන එනකොට අමුතුනපහ අල්ලක් විතර දාලා, සැරට ඔ්නද කියලා අහලා මිරිස් කුඩුත් අල්ලෙන් බාගයක් විතර දැම්මා. දාලා.. අර එළවළු ටිකත් දාලා, අපි අරගෙන ගියපු පිටිකල පොල්කිරි පැකට් දෙකත් දියකරලා, හොඳහැටි කලවම් කර කර..
හිඳෙන ගානටම හැදුවා කියන්නකො අමුතුම අයිටම් එකක්.
ඔක්කොමත් හරි ඒක බාද්දි සුවඳනෙ. හප්පා.. බත ඉදෙනකම් ඉන්න බෑ. යාළුවයි මායි මාමාගෙන් අහලා සනික..
කැන්දකොලේට ටිකක් බෙදාගෙන කෑවා වට්ටක්කා කෑල්ලකුයි, කොචිච් ගෙඩියක් එක්ක මඤ්ඤොක්කා ටිකකුයි.
ෂැහ්.. වැඩක් නෑ ආ.. කියලා.
ඇත්තටම ඒ මිනිස්සුන්ට නම් නියං කාලෙට කාලා කාලාම ඒක එපාවෙලා ඇති. හැබැයි අපිට..
දිව්‍ය භෝජන පරාදයි යාළු,
හ්ම්..!