මේ දවස්වල එළියට ගිහිල්ල රෙස්ටොරන්ට්වලින් කන්න විදිහක් නෑ කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඒකට උත්තරේ විදිහට මුල් දවස් ටිකේ නම් කරන්න තිබුණේ ගෙදර හදන කෑමවලට ම සීමා වෙන එක. හැබැයි මේ වෙද්දි කොළඹ රෙස්ටොරන්ට්වලින් කීපයක් විවෘත කරලා, තමන්ගේ පාරිභෝගිකයන්ට ඩිලිවරි පහසුකම සලසන්න කටයුතු යොදල තියනවා. මේ තියෙන්නේ ඒ විදිහට ඩිලිවරි සේවාව සපයන රෙස්ටොරන්ට්වල ලැයිස්තුවක්.
හැබැයි, ගෙදර ඉන්න ගමන් කඩෙන් කෑම ගෙන්නගෙන කෑවත් මේ දිනවල ඒ සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණු කීපයක් තියනවා. ඒ ගැනයි මේ ලිපිය..
විශ්වාසවන්ත තැන්වලින් ඕඩර් කරන්න
අපි හැමෝට ම තියනවා අපි කැමති ම රෙස්ටොරන්ට් එකක් හෝ කීපයක්. ඉතින් ඔයාලට පුළුවන් මේ දවස්වල තියන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආහාරපාන පිසීමේදි වගේ ම, ඩිලිවර් කිරීමේදිත් ඒ රෙස්ටොරන්ට් අනුගමනය කරන විශේෂ ආරක්ෂක පියවර මොනවද කියල හොයල බලන්න. ඒකට හොඳ ම ක්‍රමය තමයි එයාලගේ සෝෂල් මීඩියා පිටුවලට පිවිසෙන එක. ඒකෙ තියන තොරතුරු ප්‍රමාණවත් නැත්නම් එයාලට කෝල් කරලා අහල බලන්න. ඒ ක්‍රමයෙන් රෙස්ටොරන්ට් එක ගැන ඔයාගෙ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්.
ස්පර්ශයෙන් තොර ඩිලිවරි
කෑම අරගෙන එන කෙනා මුහුණට මුහුණ හමු වීමෙන් හැකි තාක් වැළකී ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. එයා ගේන කෑම, නිවසේ දොර ළඟ හෝ ඔයාට පහසු තැනක තියල යන්න කියල කාරුණිකව එයාගෙන් ඉල්ලන්න ඔයාට පුළුවන්. කෑෂ්වලින් ගෙවීම් නොකර, ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් පාවිච්චියෙන් ගෙවීම් කරන්නත් උත්සාහ කරන්න. එතකොට හැමෝගෙම සෞඛ්‍යය ආරක්ෂා වේවි.
හැකි ඉක්මනින් පැක් එක ඉවත් කරන්න
කෑම පැක් එක ඔයාගෙ අතට ගත් වහා ම, හොඳින් පිරිසිදු කරපු, ගෙදර තියන භාජනවලට කෑම ටික අයින් කරලා, කෑම ගේන්න පාවිච්චි කරපු පෙට්ටි, කවර වගේ දේවල් ඉවතලන්න. ඔයාගෙ අත්වලින් පැක් එක අල්ලන්න කලින් ඒක සැනිටයිසර් එකකින් පිහදාන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේ ම, රෙස්ටොරන්ට් එකෙන් එවපු හැඳි ගෑරුප්පු තියනවා නම්, ඒවා ඉවත දාලා ගෙදර තියන හොඳින් පිරිසිදු කරපු හැඳි ගෑරුප්පු කෑම ගැනීමට පාවිච්චි කරන්න.
අත් හෝදන්න
පැක් එක ඉවත දාපු ගමන්, හොඳින් සබන් දාල තත්පර 20ක් ඔයාගෙ අත් දෙක හෝදගන්න අමතක කරන්න එපා. ඇල්කොහොල් බේස් වුණ සැනිටයිසර් එකක් වුණත් මේ වැඩේට හොඳයි.
ඩිලිවර් කරන කෙනාගේ සෞඛ්‍යය
මුළු ලෝකෙ ම අර්බුදයක ඉන්න මේ වෙලාවෙ ඔයාගෙ ගෙදරට කෑම ගෙනත් දෙන්න භාර ගත්ත පුද්ගලයාට කෘතවේදී වෙන්න අමතක කරන්න එපා. මේ මොහොතේ හැමෝගෙම ජීවිත තියෙන්නේ අනතුරක. ඉතින් අවදානම අතේ අරං ඔයා වෙනුවෙන් කෑම ගෙනාපු එයාගේ පාවිච්චියට මතක ඇතිව සැනිටයිසර් එකක් තියන්න. මේක ඔයා කෑම තියල යන්න සකස් කරපු ස්ථානයේ ම තිබ්බ නම් හැමෝට ම ලේසියි.