අද දවස කවදද? බ්‍රහස්පතින්දා? නෑ සිකුරාද ද කොහෙද..
මේ දවස්වල කාට කාටත් වෙන දෙයක් තමයි දවස අමතක වීම. දවස විතරක් නං බැරියැ, අද දෙවෙනිදා ද තුන්වෙනිදා ද..? දිනේ මතකත් නෑ!
ඉතිං කවුරුත් කවුරුත් මේ දවස්වල ගෙදර නෙ. අපේ ම ආරක්ෂාව වෙනුවෙන්, අමාරුවෙන් වුණත් දිගට ම ගෙදරට වෙලා ඉන්න එක කරන්න ම වෙනවා. සමහරුන්ට නම් තමතමන් වැඩ කරන ආයතනවලින් පවරලා තියන රාජකාරි, ගෙදරට වෙලා ඉෂ්ට කිරීමේ වගකීමකුත් තියනවා. ඒ කියන්නෙ වර්ක් ෆ්‍රොම් හෝම්.
වර්ක් ෆ්‍රොම් හෝම් කියන සංකල්පය ලංකාවට ඒ තරම් ම හුරුපුරුදු එකක් නොවුණත්, මේ වෙද්දි නම් ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. කොරෝනා වෛරසය නිසා සියලු ම වගේ රජයේ සහ පෞද්ගලික ආයතන නිවාඩු දීමත් එක්ක නොදැන හිටපු හැමෝම මේ ගැන දැනගත්තා. ඉතින් දැන් අපි බලන්න හදන්නෙ ඔෆිස් ගිහින් වැඩ කරනවට වඩා ගෙදර ඉඳන් වැඩ කරද්දි අත් කරගන්න පුළුවන් වාසි මොනවද කියලයි.
සල්ලි ඉතුරුයි
එළියෙන් කන එක, ෂොපිං යන එක, ට්‍රිප්ස් යන එක, ෆිල්ම් බලන්න යන එක අනංමනං දේවල් ඔක්කොම නැවතිලා. කොටින් ම ටික කාලෙකට ඒ ඔක්කොගෙන් ම වැළකෙන්න වෙලා. ඇයි ගමන් වියදම් එහෙමත් නෑනේ. මේකෙන් සිද්ධ වෙන හොඳ ම දේ තමයි සල්ලි ඉතුරු වෙන එක. වෙනදා වගේ සැරින් සැරේ කාඩ් එක දාල එළියට ගන්නෙ නැති නිසා සල්ලි ටික නං බැංකුවෙ පරිස්සමට ඇති! හැබැයි ඉතින් ගෙදරට වෙලා ඉද්දි කන්න කියල කෑමබීම ඕනෑවටත් වඩා අරන් ගොඩ ගහගන්න අයට නං මේ වාසිය නෑ..
ගමන්බිමන් නෑ
ට්‍රැෆික්, සෙනඟ, තදබදය අත්විඳින්න වෙන්නෙ නැති එක තමයි ඊළඟ හොඳ ම දේ. මේ ටිකේ ඉතින් ගමනාගමනය කියල සිද්ධ වෙන්නෙ කාමරෙන් කුස්සියටයි, කුස්සියෙන් බාත්රූම් එකටයි, බාත්රූම් එකෙන් සාලෙටයි, සාලෙන් මිදුලටයි යන එක විතරයි නේ?
ඔෆිස් ජරමර නෑ
ඔෆිස් එකේ වැඩ කරද්දි හැම වෙලේ ම අපි කැමති අයත් එක්ක වැඩ කරන්න ලැබෙන්නෙ නෑනේ. එක එක අය එක එක විදිහයි. ඉතින් අපි සමහරුන්ට කැමතියි, සමහරුන්ට කැමති නෑ, ඒක ස්වාභාවිකයි. සමහර වෙලාවට මේ අකැමැති අයත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණාම රාජකාරි ජීවිතේ ආතතියෙන් පිරෙන්න ඉඩ තියනවා. ඉතින් ගෙදර ඉඳන් වැඩ කරනකොට වෙන හොඳ ම දේ තමයි, මෙන්න මේ අකැමැති පුද්ගලයන්ට සම්මුඛ වෙන්න අවශ්‍ය නැති එක. ඒ අය එක්ක පෞද්ගලික මට්ටමින් ගනුදෙනු කරන්න වෙන්නෙ නැති එක, හිතට සහනයක්!
සැපපහසුව
ගෙදර ඉඳන් වැඩ කරනකොට විශේෂයෙන් හිතන්න ඕන දෙයක් තමයි තමන් වැඩ කරන තැන ගැන. මේක ඔෆිස් කාමරයක් ම වෙන්න ඕන නෑ, හැබැයි වැඩට හිත යොමු කරන්න පුළුවන් පරිසරයක් වෙන්න ඕන. ටිකක් පුරුදු වෙනකං ඒකට ම වෙන් කරපු වෙන ම තැනක්, වෙන ම මේසයක් වගේ පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. පුරුදු වුණාට පස්සේ, ඔයා කැමති ඕන තැනක ඉඳන් වැඩ කරන්න ඔයාට සුවපහසුවක් ඇති වෙයි. උදාහරණයක් විදිහට බැල්කනියේ හරි, සෝෆා එකේ හරි වුණත් වැඩ කරන්න හිත එකඟ කරගන්න පුළුවන් වෙයි. කොතන හිටියත් ඉන්නෙ ගෙදර නිසා, ඔෆිස් එකේ ඉන්නවට වඩා රිලැක්ස් එකේ වැඩ කරන්න පුළුවන්.
කැමති කාලසටහනක්
නියමිත දිනයකට/ වෙලාවකට භාර දෙන්න ඕන වැඩ තියනවා නම්, වැඩ කල් දාන එක එච්චර නුවණට හුරු නෑ. හැබැයි එහෙම කලබලයක් නැත්නම් ඔයා කැමති, ඔයාට පහසු කාලසටහනකට දවසේ වැඩ ටික මෙහෙයවන්න පුළුවන්. ඔයා රෑට ඇහැරලා ඉන්න කැමති කෙනෙක් නම් ඔයාට ඒ වෙලාවට වැඩ කරන්න පුළුවන්. උදේ පාන්දරට වැඩිපුර වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් උදේ ම නැගිටලා වැඩ පටන්ගන්න පුළුවන්.
හැබැයි ඉතින් හැම ආයතනයක් ම මේකට ඉඩ දෙයි ද කියල නම් අපි දන්නෙ නෑ. ආයතනයට නියමිත වෙලාවක වැඩ කරන්න අවශ්‍යයි නම් ඒකට නම්‍යශීලී නොවී බෑනේ..
ආත්ම විශ්වාසය
ගෙදර ඉඳන් වැඩ කරනකොට දුරකතනය/ අන්තර්ජාලය හරහා කාර්යාලයේ අනෙක් අයව සම්බන්ධ කරගන්න පුළුවන් තමයි. හැබැයි, තනියම වැඩ කරන නිසා ගැටලුවක් ආව ගමන් අනෙක් අය මත ඩිපෙන්ඩ් නොවී ඔයාට ම මුලින් ඒක විසඳගන්න උත්සාහ කරන්න වෙනවා.
මේ නිසා නොදන්නා දෙයක් ගැන හොයාගන්න ඕන වුණාම අන්තර්ජාලය පීරන්න, පොතපත ඇසුරු කරන්න ඔයාට සිද්ධ වෙයි. තනියම ගැටලු විසඳගන්න පුරුදු වීම, ඔයාගෙ ඉදිරි වෘත්තීය ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මෙහෙම වැඩ කරනකොට ඔයා ගැන ඔයාට තියන ආත්ම විශ්වාසය ඉහළ යන බව ඔයාට ම තේරෙයි.
ජීවිතේ සමබරයි
ඔෆිස් වැඩ කරන ගමන් ම, මේ ලැබුණ අවස්ථාවේ ඔයාගෙ පවුලේ අයත් එක්කත් කාලය ගත කරන්න අවශ්‍ය බව අමතක කරන්න එපා. ඔෆිස් යන දවස්වල නම් ගෙදර අය එක්ක කාලය ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ ම නැති තරම් නේ. මේ දවස්වල ඒ ප්‍රශ්නෙ නැති නිසා, රාජකාරි සහ ගෙදර කියන දෙක ම සමබර කරගන්න උත්සාහ කරන්න. ඕනවට වඩා ස්ට්‍රෙස් වෙන්නෙ නැතුව, රිලැක්ස් එකේ කාර්යාල ජීවිතෙත් පවුලේ ජීවිතෙත් ගෙවන්න..