මාස තුන හතරක් දිග් ගැස්සුණ කොරෝනා නිවාඩුවෙන් පස්සේ නැවතත් ලෝකේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් යනවා. දැන් ආයෙත් පාරතොටේ කඩපිලේ වැඩපළේ ඉස්සර වගේ ම සෙනඟ. ඔෆිස්, කැම්පස්, පන්ති, ඉස්කෝල එහෙම ටික ටික පටන් ගනිමින් තියන නිසා මෙච්චර කල් ගෙවල් ඇතුළට වැදිලා සැපට ගුලි වෙලා හිටපු අය හුළං ටිකක් වදින්න එළිපහළියට ඇවිත්.
රූපය: www.weforum.org
ඒ එක්ක ම ඔන්න ඇවිදින, කඳු නඟින, ට්‍රිප් යන උණ තියන කට්ටියටත් ආපහු වසන්තය ඇවිත්. බලන බලන අත යාළුවො හරි හරියට ට්‍රිප් යන්න ප්ලෑන් කරනවා දකින්න අහන්න ලැබෙනවා. ඇත්තට ම ලංකාවේ කොරෝනා පැතිරීමේ අවදානම අඩු වෙලා තිබුණත්, අපි නැවත සාමාන්‍ය ජීවිතේට එළඹිලා තියෙන්නේ තාමත් තරමක අවදානමක් තියාගෙනයි කියන එක අමතක කරන්න බෑ. ඒ නිසා ම කොහේ ගියත් මොනවා කළත් සෞඛ්‍ය පියවර නොතකා හරින්න බෑ.
ඉතින් කොරෝනා කාලෙට සමු දීල ආයෙත් ට්‍රිප් යන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාලටයි මේ ලිපිය…
යන්න කලින්
ගමනාගමන නීතිරීති ලිහිල් කළා කියන්නෙ කොරෝනා වෛරසය රටින් පහ වෙලා ගිහින් කියන එක නෙවෙයි. ඒ නිසා තාමත් සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ පුළුවන් තරම් ගෘහස්ථව ඉන්න කියලා කියන එක අමතක කරන්න එපා. පොඩි හරි අසනීප ගතියක් තියනව නම් ට්‍රිප් එක පොඩ්ඩකට අමතක කරලා ගෙදරට වෙලා විවේක ගන්න. අසනීප තියාගෙන ගමන් ගියාම තමන්ට වගේ ම අනික් අයටත් කරදරයි නේ.
යන්න කලින් මුළු ට්‍රිප් එක ම හොඳින් ප්ලෑන් කරන්න. ප්‍රවාහනයට තමන්ගේ වාහනයක් පාවිච්චි කරනවා නම් අවදානම සෑහෙන අඩුයි. හැබැයි පොදු ප්‍රවාහන සේවයේ, ඒ කියන්නේ බස් එකේ හෝ කෝච්චියේ යනවා නම් විශේෂයෙන් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
ඒ වගේ ම ඉන්න තැන ගැනත් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. තමන් දන්න හඳුනන තැනක නවතිනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් හොටෙල් එකක නවතිනවා නම් ඔවුන් වසංගතය වැළැක්වීමේ නිසි පියවර අනුගමනය කරන තැනක් ද කියල හොයල බලලා බුක් කරන්න. සෞඛ්යාරක්ෂිත බව ගැන විශ්වාස නැති තැන්වල නවතින්න යන්න එපා. මේ දවස්වල සංචාරක කර්මාන්තය ඒ තරම් හොඳ තත්ත්වයක නැති නිසා හොටෙල්ස්වල මිල ගණන් සෑහෙන අඩු වෙලා. ඒ නිසා හොයල බලලා හොඳ කොලිටි තැනක් තෝරගන්න පුළුවන් නේ.
සෞඛ්‍යාරක්ෂාවට
රූපය: www.bloomberg.com
යන හැම තැනක ම මාස්ක් එක දාගෙන යන්න අමතක කරන්න එපා. මාස්ක් නොදා පාරට බහින අයට විරුද්ධව නීතිමය පියවර ගන්න වගේ ම නිරෝධායනයට ලක් කරන්නත් දැන් වැඩ කටයුතු යොදලයි තියෙන්නෙ. ඒ වගේ ම සැනිටයිසර් එකක් හැම වෙලේ ම තමන්ගේ ළඟ තියාගන්න. බස් එකෙන් කෝච්චියෙන් බැස්සම මතක ඇතිව අත් සෝදන්න. සබන්, තුවා වගේ දේවල් පොදුවේ පාවිච්චි නොකර, තනි තනිව පාවිච්චියට වෙන් කරගන්න.
මඟදී කන්න බොන්න නවතින තැන්වල පිරිසිදුකම ගැන වෙනදට වඩා හිතන්න. ඉස්සර වගේ දකින දකින හැම තැනින් ම කන්න බොන්න යන්නත් එපා.
හොටෙල් එකක නවතිනවා නම් අනුගමනය කරන්න ඕන විශේෂ ආරක්ෂිත පියවර ගැන ඔවුන් දැනුම් දෙයි. ඒවා හරියාකාරව පිළිපැදලා ඕගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඔවුන්ට සහාය වෙන්න.
සෙනඟ ගැවසෙන තැන්වලට යන්න වුණොත්, හැකි හැම විට ම මීටරයේ පරතරය පවත්වගන්න උත්සාහ කරන්න. නාඳුනන අය අතට අත දෙන්න, හග් කරන්න යන්න එපා.
ගිහින් ඇවිත්
ගිහින් ඇවිත් දවස් දාහතරක් ගෙවෙනකන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. විශේෂයෙන් ගමනේ දී රෝගී පුද්ගලයෙකු හෝ විදේශිකයෙකු ළඟින් ආශ්‍රය කරන්න වුණා නම් වඩාත් සැලකිලිමත් වෙන්න. කොරෝනා රෝග ලක්ෂණ ගැන දැන් හැමෝම දැනුවත් නේ. ඒ නිසා රෝග ලක්ෂණ පහළ වෙනවා කියල දැනුණොත් වහා ම වෛද්‍යවරයෙකු හමු වෙන්න.