Image: lankadesha.com
මිනිස් සමාජය කියන්නේ බොහොම සංකීර්ණ තැනක්. පවතින සමාජ ක්‍රමය ඇතුළේ ජීවත් වෙන්න අධ්‍යාපනයක් නැතුව බැහැ. අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ගේ අයිතියක් බවට පත්වෙන්නේ මේ හේතුව නිසා. රටක හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා අධ්‍යාපනය ලබාගන්න. හැබැයි පවතින ආර්ථික ගැටළුත් එක්ක ප්‍රායෝගිකව හැමෝටම පූර්ණ අධ්‍යාපනයක් ලබලා දෙන්න රජයකට පුළුවන්කමක් නැහැ. අධ්‍යාපනය ලබාදීම පෞද්ගලික අංශයට විවෘත වෙන්නේ මෙන්න මේ හේතුව නිසා.
Image: Giphy
ශ්‍රී ලංකාවේ තත්වය ගත්තොත්, මේ වෙනකොට මූලික අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් පෞද්ගලික අංශයට විවෘත වෙලා ඉවරයි. මේ හරහා රජය මඟින් අධ්‍යාපනය ලබා දෙන පිරිසට ඇරෙන්න තවත් පිරිසකට අධ්‍යාපනය ලබාගන්න හැකිවෙලා තියෙනවා. හැබැයි මෙතනදී අමතක කරන්න බැරි දේ තමයි රටක සෑම පුරවැසියෙකුටම මූලික අධ්‍යාපනය ලබාදෙන එකත් ද්විතියික අධ්‍යාපනයට පිවිසීමට අවස්ථාව සළසන එකත් එම රටේ රජයේ වගකීම බව.
කොහොම වුණත් ශ්‍රී ලංකාව ඇතුළේ පෞද්ගලික අධ්‍යාපනය ගැන තියෙන්නේ බෙදිච්ච මතයක්. පෞද්ගලික අධ්‍යාපනය තිබ්බ විරෝධය මේ වෙද්දී සැලකිය යුතු විදියට අඩුවෙලා තියෙනව වුණත් රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුළේ සහ සමහර ක්ෂේත්‍රවල මේ කියන තත්ත්වය වෙනස්. හැබැයි මේ කියන විරෝධය එල්ල වෙන්නේ සාධාරණ පදනමක් ඇතිවද කියන එක ගැන නම් තියෙන්නේ ගැටලුවක්. පසුගිය දිනවල බොහොම උණුසුම්ව වාද විවාදයකට බඳුන් වෙච්ච මාතෘකාවක් වුණ SAITM ගැටලුවෙදිත් ඒකට විරුද්ධව කතාකරපු හැම කෙනෙක්මත් එහෙම විරුද්ධ වුණ අන්තරේ GMOA එක ඇතුළු සියලුම සංවිධානත් පෙනීසිටියේ පෞද්ගලික අංශය විසින් වෙනත් පිරිසකට අධ්‍යාපනය ලබාදෙන එකට විරුද්ධව මිසක් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන වැඩිකරලා රජය විසින් ලබාදෙන අධ්‍යාපන අවස්ථා ගණන වැඩිකරන්න කියන එකට නොවේ.
Image: pinterest.com/Vrazumikhin/gifs
මේ විදියට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ වෙන අය අමතක කරපු තවත් දෙයක් තමයි ලංකාවේ උසස් පෙළ සමත්වෙන හැම කෙනෙක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්න සුදුසුකම් තියෙන කෙනෙක් කියන එකත්, සාමාන්‍ය පෙළ සමත්වෙච්ච ඕනම කෙනෙකුට සහතිකපත් පාඨමාලාවකින් පස්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්න පුළුවන්කමක් තියනවා කියන එකත්. අධ්‍යාපනය කියන්නේ හැම පුද්ගලයෙකුටම තියෙන අයිතියක්. තමුන්ගේ රටේ රජය තමුන්ට නිසි අධයාපනයක් ලබාදෙන්න කටයුතු කරන්නේ නැත්නම් වෙනත් මාර්ගයකින් අධ්‍යාපනය ලබාගන්න ඒ පුරවැසියන්ට අයිතියක් තියෙන්න ඕන. මේ විදියට පෞද්ගලික අධ්‍යාපන ආයතන වහන්න කියන එකෙන් සිද්ධවෙන්නේ මොන විදියකින් හෝ අධ්‍යාපනය ලබාගන්න කෙනෙකුට තියෙන අයිතිය නැතිවෙන එක.
පෞද්ගලික අධ්‍යාපනයේ නරක පැත්තක් නැතිව නෙමෙයි. මේ විදියට යම් සේවාවක් පෞද්ගලික ආයතන ලබාදෙනවත් එක්ක රජය ඒ සේවාවන් ලබාදීමේ වගකීමෙන් ක්‍රමයෙන් අයින්වෙන එක අපිට දිගින් දිගටම දකින්න ලැබිච්ච දෙයක්. සෞඛ්‍ය සේවය සහ ප්‍රවාහන සේවය කියන්නේ ඒකට හොඳ උදාහරණ දෙකක්.
මිනිස්සු නැඟී සිටින්න ඕන පුද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කරන්න නෙමෙයි පුද්ගලික ආයතන එක්ක තරඟකරන්න පුවන් මට්ටමකට රාජ්‍ය අධ්‍යාපන ආයතන ගේන්න කියන එකට. ඒ වගේම දැනට විශ්ව විද්‍යාලවලට ඇතුල්වෙන්න තියෙන සීමිත අවස්ථා වැඩි කරන්න කියන එකට.