මේ ලෝකෙට කවියන්, ගී පද රචකයන් නිතර නිතර පහළ වෙන්නෙ නෑ. ඒ නිසා ම තමන්ගෙ නිර්මාණ ඔස්සේ සමාජයට ප්‍රබල අදහසක් ඉදිරිපත් කරන්න, සහෘදයන් පිනවන්න, ඔවුන්ගේ මනසේ වචනවලින් සිතුවම් අඳින්න හැකියාව තියන කවියෙක් හෝ ගී පද රචකයෙක් සොයාගැනීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි.
ලංකාවේ ඉන්න, බොහෝ ගෞරව බහුමානයට පාත්‍ර වුණු, ප්‍රවීණතම කවියෙක් වගේ ම ගී පද රචකයෙක් වෙන රත්න ශ්‍රී විජේසිංහ, දශක පහකටත් වැඩි කාලයක් තිස්සේ දේශීය සාහිත්‍යයේ උන්නතිය සඳහා විශිෂ්ට නිර්මාණ ගොන්නක් දායාද කරලා තියන කෙනෙක්. ඔහු විසින් ලියැවිලා තියන හැම ගී පදයක ම පිටුපස අපූරු කතාවක් සැඟවිලා තිබීම විශේෂත්වයක්. මේ නිසා සහෘදයන්ට ඒ ගීතයේ ඇති අත්දැකීමට, වඩා හොඳින් සමපාත වෙන්න පුළුවන්.
මේ ලිපි මාලාවෙන් අපි කතා කරන්නේ, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද පිටුපස සැඟවුණු ඇත්ත කතා කීපයක් ගැන.
“චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ..”
රත්න ශ්‍රී විජේසිංහ ඉගෙනුම ලැබුවේ තමන්ගෙ නිවසේ ඉඳන් කිලෝමීටර 20ක් විතර ඈතින්, ගාල්ල නගරයේ තිබුණු පාසලක. ඒ නිසා පාසල් නේවාසිකාගාරයේ නැවතිලා පාසල් ගිය ඔහු, ගෙදර ආවෙ සති තුන හතරකට සැරයක්.
ඔහු ගෙදර යන අතරමඟ පුංචි වඩුමඩුවක් තිබුණා. අව්වෙන් වැස්සෙන් බේරෙන්න, මහන්සි අරින්න, ඉඳහිට ඔහු මේ වඩුමඩුවට ගොඩ වෙන්න පුරුදු වෙලා හිටියා. මේ වඩුමඩුව අසල තිබුණු පුංචි ගෙදරක තමයි වඩු කාර්මිකයා සහ ඔහුගේ තරුණ දියණිය වාසය කළේ.
කාලයක් යද්දි රත්න ශ්‍රී සහ මේ වඩු කාර්මිකයා අතර හොඳ මිතුදමක් ලියලන්න පටන්ගත්තා. ඔහු සිය තරුණ වියේ අත්දැකීම් සහ, සිය බිරිඳගේ වියෝවෙන් පස්සේ තනිව ම දියණිය හදා වඩා ගත් හැටි රත්න ශ්‍රීට පැවසුවා.
දවසක් මේ වඩු කාර්මිකයා බොහොම දුක්මුසු මුහුණකින් ඉන්නවා දැක්ක රත්න ශ්‍රී, කුතුහලය නිසා ම ඔහුට කිට්ටු කරලා ඊට හේතුව විමසුවා. බොහොම කරදර මැද වෙහෙස වෙලා ඔහු උස්මහත් කළ දියණිය, තරුණයෙකු සමග පැන ගොස් ඇති බව ඔහු රත්න ශ්‍රීට සැල කළේ කඳුළු සලමින්.
මේ කතාව සහ ඒ හා බැඳුණු හැඟීම් සමුදාය රත්න ශ්‍රී සසල කළා කිව්වොත් නිවැරදියි. මේ සිදු වීමෙන් වසර ගණනාවකට පසුව, මීට සමාන කතාවක් රැගත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ‘තානායම්කරුවා’ කෙටිකතාව රත්න ශ්‍රීට කියවන්න ලැබුණා. ඉතින් මේ කතාන්දර දෙක ම එකතු කර ගනිමින් තමයි රත්න ශ්‍රී අතින් ‘චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ’ පද වැල ලියැවිලා තියෙන්නෙ. මේ ගීය ගයන සුනිල් එදිරිසිංහගේ ළයාන්විත සහ වේදනාබර හඬ හේතුවෙන්, සිය දියණියගෙන් වෙන් වීම නිසා වැලපෙන පියෙකුගේ සිතිවිලි, මනා ව සහෘදයාට සමීප වෙනවා.
“සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී..”
අසූව දශකයේ මුල භාගයේ දකුණේ සිංහල බෞද්ධ පවුලක උපන් විනීතා සමරසිංහ ගුණසේකර සහ, උතුරේ දමිළ ජාතික තරුණයෙකු වුණු බාලසිංහම් නඩේසන් අතර ප්‍රේමයක් හටගත්තා. මේ දෙදෙනා ම කිරුළපනේ සහ මිරිහාන පොලිස් ස්ථානවලට අනියුක්ත ව සේවය කළ පොලිස් නිලධාරීන්.
මේ ගෙවෙමින් තිබුණෙ අසූ තුනේ කළු ජූලියේ කලබල කාලය නිසා මේ ප්‍රේම කතාවට පවුල් දෙකෙන් ම දැඩි විරෝධය පළ වෙලා. ඒත් බාධක නොතකා කොහොම හරි විවාහ වුණු මේ යුවළ, ඉන් පස්සෙ උතුරේ නඩේසන්ගේ ගෙදර පදිංචියට ගියා. ඒ කාලය වෙනකොට උතුරේත් යුද ගිනි දැල් නැඟෙමින් තිබුණා. ඒ නිසා ම නඩේසන් සහ විනීතා දෙදෙනාට ම එල්ටීටීඊයට බැඳෙන්න සිද්ධ වුණා.
රත්න ශ්‍රී මේ කතාව කියෙව්වේ සිව්දෙස පුවත්පතින්. මේ ගීයට හඬ දෙන විශාරද ගුණදාස කපුගේ ශිල්පියාගේ උනන්දු කිරීම මත, රත්න ශ්‍රී මේ කතාව ගී පදවලට ගොනු කළේ ඒ අනුවයි. 1998 දී ගීතය එළිදැක්වීමෙන් පස්සේ, ගීතයට පදනම් වුණු ප්‍රධාන චරිත වෙන නඩේසන් සහ විනීතාටත් ගීතය ශ්‍රවණය කරන්න ලැබුණා. ඔවුන් දෙදෙනාගේ දියණියත් මේ ගීතය කටපාඩම් කරගත් බව රත්න ශ්‍රී පවසනවා.
“සුදු නෙළුම කෝ සොරබොර වැවේ..”
මේ ගීතයට අදාළ කතාව 1981 තරම් අතීතයට දිවෙනවා. එවකට රත්න ශ්‍රී ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියා. දැඩි ව දරිද්‍රතාවෙන් පෙලුණු ප්‍රදේශයක් වුණු නිසා ම මේ පාසලේ යටිතල පහසුකමුත් පැවතුණේ ඉතා දුක්ඛදායක තත්ත්වයක. ඒත් දිළිඳුකම මැඩගෙන යහපත් අනාගතයක් වෙනුවෙන් අධ්‍යාපනය ලබන දක්ෂ දරුවන් බොහොමයක් මේ පාසලේ හිටියා.
මේ කතාවේ ප්‍රධාන චරිතයත් එවැනි දීප්තිමත් සිසුවියක්. ඇය හිටියේ හත් වැනි ශ්‍රේණියේ. රත්න ශ්‍රී තමයි ඇගේ ගුරුවරයා. හදිසියේ ම දින කීපයක් එක දිගට ඈ පාසල් ඇවිත් නැති බව දකින ඔහු, ඇගේ වතගොත සොයා බලනවා. ඒ අවාසනාවන්ත පුවත ඔහුගේ කන වැකෙන්නේ ඒ අනුවයි. මේ දැරිය දියේ ගිලී මිය ගිහින්.
ආරංචියට අනුව හැම දා ම පාසල් අවසන් වීමෙන් පසුව ඇය මල් කඩන්න ඇගේ නිවස අසල වැවට බහිනවා. අසල ඇති දෙමට මල් විහාරය ළඟ මේ මල් විකිණීමෙන් තමයි ඇය පාසලට අවශ්‍ය පතපොත මිලට අරං තියෙන්නෙ. ඒ වගේ ම ඇගේ පවුලේ වුවමනා සඳහා යන වියදම් පියවගත්තෙත් මේ මුදලින්.
එදා නොවැම්බර් මාසේ වැහි දවසක්. ඇය සුපුරුදු පරිදි නිවසින් පිට වුණත්, වෙනදා වගේ නැවත නිවසට ඇවිත් නෑ. ඒ නිසා ඇගේ පියා ඇතුළු ගමේ වැඩිහිටියන් කීප දෙනෙක් එදා රෑ පුරා ම මේ දැරියව හෙව්වත්, ඔවුන්ට කිසි ම හෝඩුවාවක් ලැබුණේ නෑ.
පහුවදා ඉතා ම කනගාටුදායක විදිහට ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර වැවේ පා වෙමින් තිබියදී ඔවුන්ට හමු වෙනවා. ඒ වෙද්දිත් ඇගේ අතේ පෙර දින නෙළාගත් නෙළුම් මල් මිටිය රැඳී තිබෙන ශෝචනීය දර්ශනය ඔවුන්ට දකින්න ලැබෙනවා.
රත්න ශ්‍රී පවසන විදිහට ඇගේ මළ සිරුර තැන්පත් කරන්න තරම්වත් ඉඩකඩක් ඇගේ කුඩා නිවසේ තිබී නෑ. ඇගේ සිරුරට අන්දවා තිබුණෙත් ඇය හැම දා ම පාසලට ඇන්ද පරණ වූ අවපැහැ සුදු ගවුම.
ඉතින් මේ ගීතයට යොදාගත් පන්සලේ නම සහ වැවේ නම වෙනස් කර තිබෙන්නේ ගීතයේ රිද්මය රැකීමට. පණ්ඩිත් අමරදේවයන්ගේ ශෝකී ගායනය නිසා ගීතයේ කතාව පිටුපස ඇති වේදනාව තවත් තීව්‍ර වෙනවා.