පවුලෙ අය, යාළුවො, ඔෆිස් එකේ අය.. මේ කවුරු එක්ක වුණත් කෑම වේලකට රෙස්ටොරන්ට් එකකට/ හොටෙල් එකකට ගියාම තමනුත් අනෙක් අයත් අපහසුතාවට පත් නොවෙන විදිහට හැසිරෙන එක හරි ම වැදගත්. ගෙදරදි, කවුරුත් අහල පහල නැත්තං, බිම හලාගෙන හැම තැන ම ගාගෙන තමන්ට ඕන විදිහට කෑවට මොකද, තැනකට ගියාම එහෙම බෑනෙ. ඒ ඒ තැනට ගැලපෙන ආචාරධර්ම තියනව නෙ. ඉතිං එහෙම තැන්වලට ගියාම ඌරො වගේ කන එක හරි යන්නෙ නෑ. දන්නව නෙ අර ඉංග්‍රීසියෙන් කියන්නෙ Eating like a pig කියලා.
ඒ හින්දා අපි මේ ලිපියෙන් කියන්න හිතුවා රෙස්ටොරන්ට් එකකට/ හොටෙල් එකකට ගිහින් කන්න කලින් දැනගෙන ඉන්න ඕන සරල ම එතික්ස් 10ක් ගැන. කියවල බලන්නකො ඕගොල්ලොත් මේව දැනගෙන හිටියද කියලා.
1 සර්වියට්
හොටෙල් එකක කෑමට ගිහින් කෑම මේසෙන් වාඩි වුණාම, මතක ඇතුව මේසෙ උඩ ඔයාට වෙන් කරල තියල තියන සර්වියට් එක අරං උකුලෙන් එලාගන්න. කාල ඉවර වෙනකං ඒක ඉවත් කරන්න එපා. කන අතරෙ මොකක් හරි දේකට නැගිටින්න වුණොත් සර්වියට් එක පුටුව උඩින් තියල නැගිටල යන්න. මේසෙන් නැගිටල යන්න කලින් එක්ස්කියුස් කරන්න අමතක කරන්න එපා.
2 ෆෝන් එක
මේක නං පිළිපදින්න අමාරු එතික් එකක් තමයි. හැබැයි කෑම මේසෙදි ෆෝන් එකත් එක්ක සෙල්ලං දාන එක එච්චර ආචාර ධාර්මික නෑ. ඒ නිසා ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙ නැතුව ඉන්න පුළුවන් නං හොඳයි. සයිලන්ට් හෝ වයිබ්රේට් මෝඩ් දාල පැත්තකින් තියන එක තමයි වඩාත් හොඳ.
3 ඉවසන්න
ඔයා ඕඩර් කරපු කෑම පිඟාන මේසෙට ආවත්, අනෙක් අය ඕඩර් කරපු දේවල් මේසෙට එනකං කන්න පටන්ගන්න එපා. ඔක්කොමලගේ කෑම මේසෙට ඇවිත් හැමෝම කෑමට රෙඩි වුණාම තමයි කන්න පටන්ගන්න ඕන. එතකන් ඉවසීමෙන් ඉන්න!
4 කඩු ෆයිට්
මගුල් ගෙවල්වලදි එහෙම ඕගොල්ලො සෑහෙන කඩු ෆයිට් අහල දැකල ඇති. ඒ කියන්නෙ හැඳි ගෑරුප්පුවලින් කනකොට එන සද්ද ගොඩ! හැඳි ගෑරුප්පුවලින් කනව නම් පිළිවෙළින් ඒව පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක වැදගත්. දන්නෙ නැත්තං ඔයාට පුරුදු විදිහට අතින් කන්න. ලොකු හොටෙල්ස්වල නං අතින් කන අයට අත හෝදන්න ෆින්ගර් බෝල්ස් ගෙනත් දෙනව නෙ. ඒ නිසා අපහසුතාවක් ඇති වෙන්නෙ නෑ. හැඳි ගෑරුප්පු පිඟානේ ගැටෙනකොට සද්ද වෙනව කියන්නෙ ඔයා නිසි විදිහට ඒව පාවිච්චි කරන්නෙ නෑ කියන එකයි.
5 කැත පුරුදු
කන වෙලාවට අනෙක් අයට අප්‍රසන්න වෙන සමහර දේවල් කරන්න ඇතැම් අය පුරුදු වෙලා ඉන්නවා. හුඟක් වෙලාවට එයාල මේව කරන්නෙ හිතාමතා නෙමෙයි, පුරුද්දට. ඒත් ඒවයින් අනෙක් අයට තමයි අපුලක් ඇති වෙන්නෙ. උදාහරණයක් විදිහට කට ඇරගෙන කෑම හපන එක. මේ වෙලාවට චව් චව් ගාල ඒ අයගෙ කටෙන් එන සද්දෙ, අනෙක් අයට කෑම කන්න බැරි විදිහෙ අප්පිරියාවක් ඇති කරනවා.
ඇඟිලි ලෙව කන එකත් මෙහෙම පුරුද්දක්. ගෙදරදි කරල පුරුද්දට තැනකට ආවමත් මිනිස්සු ඇඟිලි ලෙව කනව ඔයාල ඕන තරං දැකල ඇති.
ඒ වගේ ම කන ගමන් වතුර හරි, බීමක් හරි බොනව නම් කටක් හපල, ඒක ගිලල ඉවර වෙලා බීම උගුරක් බොන්න. කෑම කටේ තියෙද්දි ම බීම බොනකොට සද්ද වෙන්න වගේ ම කටේ තියන කෑම එළියට එන්නත් පුළුවන්. කියද්දිත් අප්පිරියයි නේද?
ඇයි, කෑම මේසෙ ඉඳන් දත් හාරන එකත් මේ ජාතියෙ ම කැත පුරුද්දක්. කාල ඉවර වෙලා කාටත් නොපෙනෙන්න ටූත් පික් එකකින් දත් සුද්ද කරගන්න. නැතුව කෑම මේසෙ ඉඳන් නියපොතුවලින් මේ වැඩේ කරන්න නං හිතන්නවත් එපා.
6 කතා
කෑම කටේ තියාගෙන කතා කරන්න එපා කියල පොඩි කාලෙ අම්මල කියල දෙනව නේද? මේ වගේ වෙලාවක ඒක අනිවාර්යයෙන් පිළිපදින්න. හැබැයි මේ කියන්නෙ කෑම කන අතරෙ කතා කරන්න එපා කියල නෙමෙයි. කෑම කන අතරෙ කට්ටිය එක්ක කතා කළාට කමක් නෑ, කෑම කටේ තියාගෙන කතා කරන්න එපා. ඒකෙන් සද්ද වෙන්න වගේ ම, කටේ තියන කෑම හැම තැන ම විසිරෙන්නත් ඉඩ තියනවා.
මේ වගේ වෙලාවට කතා කරද්දි අනෙක් අයට කෑම අප්පිරිය වෙන කතා කියන්න එපා. තමන් කියන්නෙ මොනවද කියල සැලකිල්ලෙන් ඉන්න.
7 හචිං!
කන අතරෙ කිවිසුමක් හරි ගුඩුස් එකක් හරි ගියාම එක්ස්කියුස් කරන්න. නැත්තං අමතක නොකර සොරි කියන්න. විශේෂයෙන් කිවිසුමකදි අනිවාර්යයෙන් මූණ ඉවතට හරවගන්න. නැත්තං ඔයාගෙ හචිං එකෙන් පස්සෙ අනෙක් අයට කන්න බැරුව යයි!
8 මේස පුටු පුරුදු
කෑම මේසෙ ඈතින් තියන ඩිෂ් එකක් ගන්න ඕන නං නැගිටල කෑම මේසෙ දිගට ඇදෙන්න එපා. කැතයි නේ! ඩිෂ් එක පාස් කරන්න කියල ළඟ ඉන්න කෙනෙකුට කියන්න. මේසෙ උඩ දිග ඇදිල නිදාගන්න එක වගේ ම, වාඩි වෙලා ඉන්න පුටුව පද්දන එකත් වැරදි හැසිරීමක්. පුටුවෙ පහසුවෙන් සාමාන්‍ය විදිහට වාඩි වෙන්න. පිටත් වෙන්න ලෑස්ති වෙලා නැගිට්ටම නැවත පුටුව ටිකක් මේසෙ ඇතුළට දාල යන්නත් අමතක කරන්න එපා.
9 'මල්ලී..!'
වේටර්ට හෝ ස්ටාෆ් එකේ කෙනෙකුට කතා කරන්න ඕන නං සයිවර් කඩේකදි කරනව වගේ “මල්ලී!” කියල කෑගහන්න එහෙම එපා! තව, කටින් සද්ද දාන එක, අත්පුඩි ගහන එක වගේ දේවලුත් අවිනීතයි. එයා ඔයාට පේන දුරට එනකං ඉන්න. පේන දුරට ආවම සද්ද එන්නෙ නැති වෙන්න පොඩි සංඥාවක් දෙන්න.
10 ස්තුති
වේටර් කෑම ගෙනත් තිබ්බම එයාට ස්තුති කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පිටත් වෙද්දි ඕන නම් කෑම ගැන සතුටුයි කියල එයාට කම්ප්ලිමන්ට් කරන්නත් ඔයාට පුළුවන්. සමහර විට කෑම කොහොමද කියල එයා ම අහන්නත් ඉඩ තියනවා. ඔයා එතන ඉන්න මුළු වෙලාවෙ ම ස්ටාෆ් එකත් එක්ක කතාබහ කරද්දි සුහද වෙන්න. එයාලව පහත් කරල සලකනව නං ඔයා මනුස්සයෙක් විදිහට අසමත් කියල තමයි කියන්න වෙන්නෙ.