දැන් ඉතින් සාහිත්‍ය මාසේ හින්ද කට්ටිය පොත් ගැන අවධානෙන් නේ ඉන්නේ? පොත් කියන්නේ ඉතින් වටිනා වස්තු නේ. පොතක් දෙකක් කියෙව්වා කිව්වම පොඩ්ඩක් විතර රැස්පෙක්ට් එකත් නැගල යන්නේ පොත්වලින් දැනුම දියුණු වෙන හින්දනේ. හැබැයි ඉතින් දන්නැද්ද සමහර අය බලං ඉන්නේ පොතේ ෆිල්ම් එක හදල එනකං නේ කියවන්න බැහැයි කියල. හරි කාරී නෑ. එහෙම හරි රස විඳින්න පිටුවෙන් තිරයට ගිය ලස්සන සිනමා කෘති ටිකක්.
නිධානය
සිංහල සිනමාවේ අග්‍රගන්‍ය නිර්මාණය කියල හුඟක් අය නම් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ නිධානය චිත්‍රපටියයි. තණ්හාවේ ආදීනව මොනවට පෙන්නුම් කරන මේ චිත්‍රපටිය දැන් විශාල පිරිසකගේ ආධාරයෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට උත්සහ කෙරෙනවා. මොකද ලංකාවේ තිබුණ පිටපත්වලට සැහෙන්න හානි වෙලා. ඉතින් මේක ලඟදි නං බලන්න හම්බවෙන එකක් නැහැ. ඒක හින්ද ඒ වෙනුවට ඕනේ නං ප්‍රවීන ගත් කතුවර ජී. බී. සේනානායකගේ ”පලිගැනීම" කෙටි කථා සංග්‍රහය කියවන්න. මොකද එකේ තියෙන කතාවක් තමයි නිධානයට පදනම් වෙන්නේ.
ගම්පෙරලිය – කලියුගය – යුගාන්තය
ගම්පෙරලිය සිංහල සාහිත්‍යයට කරපු බලපෑම කොච්චරද කියන්නේ අදටත් සිංහල පොතක් නම් කරන්න කිව්වොත් හුඟක් දෙනාට ඉස්සෙල්ලම ඔලුවට එන්නෙ ගම්පෙරලිය තමයි. අර පෙම් පෙරලි කරන්නත් කාලෙකට කලින් ගම්පෙරලිය ගත්තලු නේ? කලියුගය සහ යුගාන්තය පොත් දෙකත් එච්චරම තමයි. මාටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රතිභාව මොනවට පෙන්නුම් කරන්නේ මේ තුන් ඈඳුතු කතාව තමයි. සිංහල සාහිත්‍යයේ ඉස්තරම්ම උදාහරණයක් හින්දම වෙන්නැති අපේ අග්‍රගන්‍ය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මේ පොත් තුනෙන්ම අති විශිෂ්ට සිනමාපට තුනක්ම හැදුවේ. ඒක හින්ද කියවන්න කම්මැලි නං අඩුම ගානේ ෆිල්ම් ටිකවත් බලන්නකෝ. සිංහල සිනමාව ගැන මොකක් හරි උනන්දුවක් තියෙනවනං මේවා නොබලා ඉන්න බැහැ.
වරක් එදිරිවීර සරත්චන්ද්‍ර මහත්මය ගම්පෙරලිය ගැන කියල තිබුණා ලජ්ජා වෙන්නෙ නැතුව ලෝකෙට පෙන්නන්න පුළුවන් සිංහල චිත්‍රපටියක් තියෙනවා කියලා. සම්මාන පිට සම්මාන දිනපු මේ චිත්‍රපටිය විදේශ වලත් තිරගත කළා. කාලේ හැටියට සෑහෙන්න ලොකු සීන් එකක්.
කලියුගය චිත්‍රපටියත් ගම්පරලිය වගේම කාන්ස් උළෙලේ හොඳින් පිලිගැණුනා. ගම්පෙරළියේ කතාව තවත් ඉදිරියට ගෙන යන මේ චිත්‍රපටියටත් ගම්පෙරළියේ නළු නිළියන් දායක වුණා. මේකේ නං විඩියෝ එකක් හොයාගන්න බැරි වුණා.
යුගාන්තය චිත්‍රපටිය ගම්පෙරලිය, කලියුගය තරම්ම පිලිගැනීමට පාත්‍ර නොවුනත් සැහෙන්න හොඳ නිර්මාණයක්. මේකෙ තමයි ජනමාධ්‍යවේදී රිචඩ් දි සොයිසා ප්‍රධාන චරිතයක් වන මාලින් කබලාන හැටියට රඟපෑවේ.
විරාගය
තවත් මාටින් වික්‍රමසිංහ රචනයක්. මාටින් වික්‍රමසිංහ තරම් සිනමාවට නගපු වෙන ලේඛකයෙක් නැතුව ඇති. මේ පාර වැඩෙට අත ගහන්නේ තිස්ස අබේසේකරයන්. විරාගය කියන්නේ කවුරුවත් සිනමාවට නගන්න පුළුවන් වෙයි කියල හිතපු පොතක් නෙමෙයි. ඒ වුනාට ඒක කොහොමහරි සිද්ධ වුණා. හැබැයි ප්‍රශ්ණ නැතුවම නෙමෙයි. චිත්‍රපටියේ දිග කොච්චර වැඩි වුනාද කියන්නේ එකේ සංස්කරණය ගැන ගැටළු මතුවුණා, සමහර සිනමා ශාලා රීල් අඩුකරලා පෙන්නුවා කියලත් කතා ආවා. කොහොමහරි දැන් හරි ඩීවීඩී එකක් හොයාගත්තනං එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
මඩොල් දූව
මේකෙ මාටින් වික්‍රමසිංහ කියල වෙනම කෑල්ලක් වෙන් කළා නං හොඳයි කියල දැන් හිතෙනවා. ඉතින් මේ චිත්‍රපටි එකක්වත් අතාරින්න බැහැ. ඒවා ඔක්කොම විශිෂ්ට නිර්මාණනේ. මඩොල් දුව පිටුවෙත් තිරයෙත් ලොකු පොඩි කාගෙත් හිත ගත්ත කතාවක්. උපාලි සහ ජින්නා පිටුවෙන් හිතේ ඇඳුනට, පණ පිටින් වගේ සිනමා තිරේ දැක්කම කොහොමද ලස්සන?
බැද්දේගම
මාටින් වික්‍රමසිංහ විතරක් නෙමෙයි ලෙස්ටර් ජේම්ස් පීරිස් කියල වෙනම වෙන්කිරීමක් කරන්න තිබුණා. ඔහු අත ගහපු තවන් අනුවාදයක් තමයි බැද්දේගම. ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle කෘතිය බ්‍රිතාන්‍ය දෘෂ්ටිකෝණය වෙනුවට දේශීය ජනතාවගේ දෘෂ්ටිකෝණය තුලින් රචනා කල ප්‍රථම ඉංග්‍රීසි කෘතියක් ලෙස ඇගයීමට ලක් වුණා. පිටුවේ විදෙස් බසකින් තිබුණ ඒ කතාව, සියලුම හැඟීම්, දුක් ගැහට අඩු නොකර සිංහලෙන් අපිට පෙන්වන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් සමත් වුණා.
තවත් ලාංකීය පොත් වලින් හදපු සිනමා කෘති තියෙනවා. එත් මේ දැනට ඇති නේ? ඔය ටික බලල කියවල එන්න. ඔයාල කැමති ඒවා අපිට මගහැරුන නං කොමෙන්ට් කරලා යන්නකෝ.