හැම අවුරුද්දක ම පෙබරවාරි 11 වෙනිදාවක් උදා වුණත් අනෙක් සාමාන්‍ය දවස් වගේ ම මේ දිනය ගෙවිල යන්නේ මේ දවසේ විශේෂත්වය ගැන වැඩි දෙනෙක් නොදන්න හින්දමයි. ඒ වගේ ම පෙබරවාරි 14 වැලන්ටයින් දවස ගැන තියන උත්කර්ෂය හින්දා හුඟ දෙනෙකුට පෙබරවාරි 11 ගැන මතක් වෙන්නෙ නෑ.
ඉතිං මොකද්ද දන්නවද මේ දවසේ විශේෂත්වය?
පෙබරවාරි 11 තමයි විද්‍යා ක්ෂේත්‍රයේ සිටින කාන්තාවන් වෙනුවෙන් වෙන් වුණු ජාත්‍යන්තර දිනය.
ඉතින් අපි කල්පනා කළා මේ දිනය වෙනුවෙන් විද්‍යා ක්ෂේත්‍රය ජය ගත් ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් කිහිප දෙනෙකු ගැන ඔබ දැනුවත් කරන්න.
ඩොරති කෙයිලි
Photo Credits: Wikipedia.com
ලංකාවෙ ඉපදිලා පස්සෙ කාලෙ එංගලන්තයට ගිය මෙතුමිය, 1927 දි කළ විද්‍යාත්මක සොයා ගැනීමක් ඔස්සේ තමන්ගෙ නම විද්‍යා ඉතිහාසයට එක් කරන්න සමත් වුණා. ටියුලිප් මල්වල විවිධ පාට වයිරම් පවතින්නේ වෛරසයක් හේතුවෙන් බවයි ඇය විසින් සොයා ගනු ලැබුවේ. මේ වෛරසය හැඳින්වෙන්නේ ‘ටියුලිප් බ්‍රේකිං වෛරස්’ නමින්.
සොනාලි දැරණියගල
Photo Credits: BBC, via dbsjeyaraj.com
මේ නම නම් අපිට හුරුපුරුදුයි. ලංකාවේ ඉපදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හදාරා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඇය ලංකාවේ වඩාත් ම ප්‍රකට වූයේ, තමා මුහුණ දුන් බිහිසුණු සුනාමි අත්දැකීම පිළිබඳව 2013 දී ‘වේව්’ නමින් කෘතියක් ලියා පළ කිරීමෙන් අනතුරුවයි. 2004 සුනාමි ඛේදවාචකයෙන් ඇයට සිය සැමියාත් දරුවන් දෙදෙනාත් අහිමි වුණා. දේශීය මෙන් ම ජාත්‍යන්තර අවධානය දිනා ගත් ඇගේ මේ කෘතිය, මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නිර්දේශිතයි.
ලුයීකා රෂීඩ්
Photo Credits: users.aniacs.umd.edu
මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වශයෙන් කටයුතු කරන මෙතුමිය දත්ත සම්බන්ධ විද්‍යාඥවරියක්. දත්ත විද්‍යා ක්ෂේත්‍රයේ දශක දෙකක අත්දැකීම්වලින් හෙබි ඇය දත්ත කළමනාකරණය, අනුකලනය, මූල්‍ය තොරතුරු පද්ධති ආදී වූ ක්ෂේත්‍ර රැසකට සිය දායකත්වය ලබා දී තිබෙනවා.
අජන්තා පෙරේරා
Image Credits: Wikipedia.com
2019 ජනාධිපතිවරණයට තරග කළ එක ම කාන්තා අපේක්ෂිකාව වූ අජන්තා පෙරේරා දේශීයව සහ ජාත්‍යන්තරව පිළිගත් පරිසර විද්‍යාඥවරියක්. ‘ගාබේජ් ක්වීන්’ ලෙස නම් දරන ඇය මෑත කාලයේ ලංකාවේ පැනවුණු පරිසර හිතකාමී ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කරන්නට පෙරමුණ ගත් කෙනෙක්. ඇය වරක් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන්නට එල්ටීටීඊ පාලන සමයේ වව්නියාවට ද ගමන් කළ බව පැවසෙනවා.
ආශා ඩි වෝස්
Photo Credits: Spencer Lowell/Wired UK
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන සංවිධානය, Oceanswell ආරම්භ කළ ආශා ඩි වෝස් ගැන නම් ඔබ හොඳින් ම අසා ඇති. ලොව ප්‍රමුඛ පෙළේ සමුද්‍ර ජෛව විද්‍යාඥවරියක වන ඇය නිල් තල්මසුන් පිළිබඳව නිරන්තරව පර්යේෂණ සිදු කරනවා. ලෝක ආර්ථික සංසදය මඟින් තරුණ ගෝලීය නායකයෙකු වශයෙන් නම් කරනු ලැබීම වැනි ලෝකය පුරා විවිධ ගෞරවයන්ට පාත්‍ර වුණු ඇය, බීබීසීය මඟින් 2018 වසරේ විශිෂ්ටතම කාන්තාවන් 100 දෙනා අතරට ද නම් කරනු ලැබුවා.
හේමමාලා කරුණාදාස
Photo Credits: Binhong Lin via chemistry.stanford.edu
කොළඹ ඉපදී කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හේමමාලා කරුණාදාස, ස්ටැන්ෆර්ඩ් සරසවියේ සහාය මහාචාර්යවරියක වශයෙන් කටයුතු කරන රසායන විද්‍යාඥවරියක්. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ ඇය රසායන ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් රැසකට දායක වුණා.
හිරණ්‍යා පීරිස්
Photo Credits: Niklas Björling via fysik.su.se
යුනිවසිටි කොලේජ් ලන්ඩන්හි තාරකා භෞතික විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරියක වන මෙතුමිය සාර්ථක පර්යේෂිකාවක්. ඇය 2018 Fundamental Physics Breakthrough Prize දිනා ගන්නට සමත් වූ විද්‍යාඥයන් 27 දෙනාගෙන් කෙනෙකු වනවා. ස්ටොක්හෝම්හි Oskar Klein Centre for Cosmoparticle Physics හි අධ්‍යක්ෂවරිය වන්නේ ද ඇයයි.