පොකුණක් අද්දරට වෙලා තනි කකුලෙන් හිටගෙන බකතපස් රකින කොක්කුන්ව අදටත් ඔය ගමේ ගොඩේ පැත්තක දැකගන්න පුළුවන්. මාළුවෙක් දැක්ක ගමන් ඔය සීලේ ඉවරයි. ඒත් මිනිස්සුත් ඔය තාලෙන් මාළු බාන හැටි දැකලා තියෙනවද? මේ කට්ටියට කියන්නේ “රිටිපන්න ධීවරයෝ" කියලා.
මොනවද මේ රිටිපන්න?
Image Credits : Jethro Thompson
මේක ලංකාවට ආවේණික මාළු බාන ක්‍රමයක්. දකුණු පළාතේ මුහුදු තීරය දිගේ මාතර පැත්තට යද්දී මේක දැකගන්න ලැබෙනවා. විශේෂයෙන් ම ගාල්ල, කොග්ගල, කතළුව, අහංගම, වැලිපැන්න, මිදිගම වගේ පැතිවල මේක සෑහෙන්න සුලභ දසුනක්. හැබැයි අවුරුද්දේ හැම කාලේ ම නෙවෙයි. මැයි මාසයේ ඉඳන් දෙසැම්බර් වගේ වෙනකන්.
“රිටිපන්නය" හැදෙන්නේ නොගැඹුරු මුහුදේ සිරස් අතට සිටවන රිටකිනුයි, ඒකෙ තිරස් අතට සවි කරන දණ්ඩකිනුයි. ජල තලයේ ඉඳන් මීටර් දෙකක් විතර උඩින් බඳින මේ දණ්ඩ මාළු බාන කෙනාට සමබර ව වාඩිවෙලා ඉන්න ඉඩ සලස්වනවා. කදුරු, කඩොල්, ඇට්ටෝනියා වගේ මුහුදු වතුරට ඔරොත්තු දෙන ලී වර්ගයක් ආධාරයෙන් තමයි මේක හදන වැඩේට හරියන්නේ. මේ කෙළින් අතට හිටවන ඉන්න ජල තලයේ ඉඳන් අඩි 8-10 උසින් යුක්ත වෙනවා. බිලී පිත්ත හැදෙන්නේ කිතුල් ලීයෙන්.
මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ වගේ රිටක් උඩ ඉඳගෙන මාළු බාන එක ම නෙවෙයි. සාමාන්‍යයෙන් මාළු බානකොට ඇමක් පාවිච්චි වෙනවනේ. ගොඩක් වෙලාවට ඇම විදියට යොදාගන්නේ පණුවෝ, හාල්මැස්සෝ මාළු වගේ ජාති. ඒත් රිටිපන්න ක්‍රමේට මාළු බානකොට කොයිම විදියෙවත් ඇමක් භාවිතා වෙන්නේ නැහැ. නොගැඹුරු මුහුදේ මාළු අල්ලන ක්‍රමයක් විදියට තමයි මේක ජනප්‍රිය.
රිටිපන්න ක්‍රමයේ ඉතිහාසය
රිටිපන්න ක්‍රමයට දිග ඉතිහාසයක් තියෙන බව කියවුණත්, ඒකෙ දින වකවානු ගැන හරි කතාවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. කට්ටියක් කියන විදියට මේක ඉස්සර රුවල් නැව්වලින් ලංකාවට ආව ධීවර කාර්මිකයන්ගෙන් අපේ මිනිස්සු ඉගෙනගත්ත දෙයක්. ගන්දර හිටපු රාළහාමි කෙනෙක් තමයි මේ වැඩේට මූලික වෙලා තියෙන්නේ. දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ මේ වැඩේ පටන් ගැනුණ බවත් කාණ්ඩයක් කියනවා. කොහොම වුණත්, පරම්පරාගත ව මේ තාක්ෂණය අද ඉන්න පරපුරට ලැබුණු බවක් පේන්න තියෙනවා.
ඇම නැති බිලී කටුව
Image Source : divaina.com
ඇම නැතුව මාළු බාන්න පුළුවන් මේ බිලී කටුව හැදෙන හැටි ගැන මේ වෙලාවේ කතා නොකළොත්, ඒක ලොකු අඩුවක්. බිලී කටුවේ අච්චුව විදියට යොදා ගැනෙන්නේ දැලි පොත්තයි. දැලි පොත්ත කියන්නේ දැල්ලාගේ පිට වැහිලා තියෙන පොත්තට. දැල්ලා වයසෙන් වැඩෙද්දී, උගේ ප්‍රමාණය ලොකු වෙනවනේ. එතකොට මේ පිටපොත්ත හැලෙනවා. වෙරළට ගහගෙන එන දැලිපොතු එකතු කරගන්න රිටිපන්න ධීවරයන් මිරිදිය ජලයෙන් හෝදලා දුමේ දානවා. ඒකෙන් දැලිපොතු වේලෙනවා. සාමාන්‍යයෙන් සති තුනක් වගේ මේ විදියට දැලිපොතු දුමේ වේලීම කරනවා.
ඊළඟට වෙන්නේ දැලිපොත්ත කෑලිවලට කපන එක. මේ කුඩා කැබලි ගල් ලෑල්ලක අතුල්ලලා මට්ටම් කරගැනීමක් කරනවා. මැදගත්ත දැලිපොතු ගින්දරෙන් රත් කිරීමකුත් වෙනවා. මේක බිලීකටු අච්චුව බවට පත්වෙන්නේ ඉන්පස්සෙයි. මේ අච්චුවට රත් කරපු සුදු ඊයම් වත්කරලා විනාඩි පහකට වගේ පස්සේ අච්චුවෙන් ගලවලා අයින් කරනවා. මෙන්න මේක තමයි රිටිපන්නයෙදී පාවිච්චි වෙන ඊයම් බිලීකටුව වෙන්නේ.
Image Credits : Steve Maccurry
හැබැයි මෙතැනිනුත් මේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. සියුම් මිටි උදව් කරගෙන මේ බිලීකටු ඔප මට්ටම් කරලා පීරකින් ගෑමක් සිද්ධ කරනවා. මාළු රැවටෙන්නේ මෙන්න මේ ඔපේට. ඒ නිසා කොරබුරුවා, බෝල්ලෝ වගේ මාළු ලේසියෙන් ම අල්ලාගන්න පුළුවන්. ඒ අල්ලගත්ත මාළුන් ව තමන්ගේ ළඟ තියෙන මල්ලට දාගන්නවා.
මුහුදේ වඩදිය, බාදිය මට්ටම්වල හැටියට බිලීකටුවේ සයිස් එකත් වෙනස් වෙනවා. වඩදිය තියෙනවනම් භාවිතා කරන්නේ ලොකු බිලීකටුවක්. බාදිය නම් පොඩි බිලීකටුවක්.
කිතුල් ලීයෙන් හැදුණු බිලී පිත්ත
Image Credits : Spencer Montero
මේ වැඩේට නියමෙට ම හරි යන්නේ ළඟින් ළඟින් ගැට තියෙන කිතුල් පිත්තක් කියලා තමයි ආරංචි වෙන්නේ. මේ පිත්ත පවනේ වේලලා, ගින්නෙන් පුච්චන ගමන් සිරස් අතට හදාගන්නවා. ඊටපස්සේ මේකට යොත සම්බන්ධ කරනවා. යොත කියන්නේ බිලී පිටතට සවි කරන ලණු පොටකට. ඉස්සර යොත විදියට පාවිච්චි වුණේ අන්නාසි ගස්වලින් ඉරාගන්න පොතු. මේ පොතුවලින් හදන කෙඳි එකට එකතු කරලා හදාගන්න ලණු කැරැල්ලක් මේ විදියට භාවිතා වුණා. හැබැයි දැන් තත්ත්වේ ඊට වඩා වෙනස්.
අද රිටිපන්න ධීවරයෝ යොත හදන්නේ ලෝකේ තියෙන හොඳ ම තංගුස් නූලකින්. කොටින් ම කියනවනම් ඇහැට පෙන්නේ නැති තරමට සිහින් මේ තංගුස් නූල් වර්ගය ලංකාවේ ඇත්තේවත් නැහැ. මේ ධීවරයන්ට ඒ නූල් ලැබෙන්නේ රිටිපන්න ක්‍රමය ගැන කුතුහලයක්, කැමැත්තක් දක්වන විදේශිකයන්ගෙන්.
රිටිපන්නය; එදා සහ අද
Image Source : ceylontouradvisor.com
දැන් කාලේ වෙනස්, තාලේ අලුත්නේ. ඒ නිසා රිටිපන්න ක්‍රමයටත් අලුත් තාක්ෂණයේ දේවල් එකතුවෙච්ච බවක් පේන්න තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ දවස්වල මුහුදේ හිටවන රිටිපන්නයට යොදාගත්තේ ඇලිස්ටෝනියා ගහෙන් ගන්න රිටකුයි. ඒ වෙනුවට දැන් ගැල්වනයිස් කරපු බට පාවිච්චි වෙනවලු. මොකද සවි ශක්තියත් හොඳයි, මළකඩ කෑමත් අඩුයිනේ.
ඉස්සර ඔහේ විටකුත් හපහප බිලී බෑව රිටිපන්න ධීවරයෝ අද වෙද්දී පොඩි සංගීතයක් එහෙම අහගෙන ඒ වැඩේ කරනවා. මොකද එයාලා හැමෝම වගේ ළඟ මොබයිල් ෆෝන්, පොකට් රේඩියෝ තියෙනවනේ. කොහොමත් මේක සෑහෙන්න ඉවසීමකින් කරන්න ඕනේ වැඩක්. ඒ නිසා ඒ වගේ දේවල්වල උදව් ගත්තට පාඩුවක් නැහැ.
මේ රිටිපන්න ධීවරයන්ගෙන් ගුරුහරුකම් අහගෙන, ඒ දර්ශන පටිගත කරගෙන ගියත්, අදටත් මේ තාක්ෂණය උදව් කරගෙන එක මාළුවෙක් හෝ බාගන්න විදේශිකයන්ට පුළුවන් වෙලා නැහැ. චීන, ජපාන රටවල් පවා මේක උත්සහ කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මේකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ දෑතේ හැකියාවයි. අනාගත පරම්පරාවටත් දැක බලාගන්න පුළුවන් විදියට ඒක ආරක්ෂා කිරීම අපේ බලධාරීන් සතු ලොකු වගකීමක්.