අපේ යමු එකේ කාණ්ඩේ විටින් විට කරන වැඩක් තමයි මේ විවිධ වෙළඳ නාම යටතේ තියෙන, එක වගේ කෑම වර්ග එකතු කරලා, රස බලන එක. අපි මීට කලින් චොකලට් කිරි, චොකලට් අයිස්ක්‍රීම් සම්බන්ධයෙනුත් මේ වගේ වැඩක් කළා ඔයාලට මතක ඇති. ඉතින් මේ සැරේ අපි ඒ වෙනුවෙන් තෝරාගත්තේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්.
එදිනෙදා සුපර්මාකට් එකට, එහෙමත් නැත්තන් ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේට ගියාම හොයාගන්න ලැබෙන සුලබම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වර්ග හතරක් අපි තෝරගත්තා. මේ එකක්වත් ප්‍රිමියම් කාණ්ඩෙට නොවැටෙන, සාමාන්‍ය ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. Elephant House, Alerics, Kotmale, සහ Highland තමයි අපි මේ විදියට රස බැලුවේ.
දැන් කට්ටිය බලනවා ඇති "කෝ කාගිල්ස් නෑනේ" කියලා. ඇත්තම කිව්වොත් අපිත් සුමාන දෙක තුනක් තිස්සේ කාගිල්ස් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක හෙව්වා. ඒත් ඒ වෙනුවට හොයාගන්න ලැබුණේ කාගිල්ස් ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරීස් කියන අයිස්ක්‍රීම් එක. ඒක ප්රිමියම්වලට කිට්ටු නිසා ඒක ඇතුලත් නොකරන්න තීරණය කළා. ඒ නිසා තමයි අපි කලින් සඳහන් කරපු වර්ග හතර විතරක් තෝරාගත්තේ.
හැබැයි එක දෙයක් මුලින්ම කියන්න ඕනේ. ඒ ස්ට්‍රෝබෙරි රස කියලා නම ගහලා තිබුණත්, මේ එක අයිස්ක්‍රීම් එකකින්වත් එන්නේ ස්වභාවික ස්ට්‍රෝබෙරි රස නෙවෙයි කියන එක. කෘත්‍රිම විදියට හදපු, ස්ට්‍රෝබෙරි රස කියලා සාමාන්‍ය වෙළඳපොලේදී පිළිගන්න රසක් තමයි මේවයේ තියෙන්නේ.
1. Elephant House
මතක ඇති කාලේ ඉඳන් අපි අහලා, දැකලා, රස විඳලා තියෙන නිෂ්පාදනයක් විදියට එලිෆන්ට් හවුස් හඳුන්වන්න පුළුවන්. හැබැයි මෙදා සැරේ අපට ලැබුණු අත්දැකීම නම් එච්චර හොඳ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.
තරමක කිරි රසක් වගේම, මේ අයිස්ක්‍රීම් එකේ සාමාන්‍යයෙන් හොඳ ක්‍රීමි ගතියක් තිබුනා. හැබැයි ස්ට්‍රෝබෙරි රසක් නම් අපට නොදැනුණු තරම්. අපි ටිකක් වැඩිපුර කාලා බැලුවෙත් අයිස්ක්‍රීම් එකේ අඩිය හරියෙන්වත් මේ රස එයිද කියලා බලාගන්න. ඒත් දිගින් දිගටම අපට දැනුණේ බොහොම ලා ස්ට්‍රෝබෙරි රසක්. පාට පැත්තෙන් ගත්තත් හරිම ලා රෝස පාටක් තමයි මේකේ තිබුණේ.
2. Alerics
70 දශකය වගේ වෙද්දී, ලංකාවේ තිබුණු හොඳම අයිස්ක්‍රීම් වෙළඳ නාම අතරින් එකක් වුණු ඇලෙරික්ස් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකත් අපි කාලා බැලුවේ, තවමත් ඒ පරණ පුරුදු රස අපට දැනේවිද කියලා බලන්නයි. ඒත් හිතපු තරම් ඒ අත්දැකීමත් සුන්දර නැහැ.
සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්වල තියෙන්නේ රෝස පාටක්නේ. ඒත් මේකේ තිබුණේ ලා තැඹිලි පාටක්. කිරි රසත් තරමක් අඩුයි මේ අයිස්ක්‍රීම් එකේ. ඒ නිසා ක්‍රීමි ගතියත් බොහොම මදියි කියලා අපට දැනුණා. මේ අයිස්ක්‍රීම් එකෙත් ස්ට්‍රෝබෙරි රසක් ඇත්තෙම නැති තරම්. මොකක්දෝ රසක් තිබුණු නිසා කන්න පුළුවන් වුණත්, ඒ රස ස්ට්‍රෝබෙරි නොවන වග නම් සැකයක් නැතුවම කියන්න පුළුවන්.
3. Kothmale
කොත්මලේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක දැක්කම අපට මතක් වුණේ මුකුත්ම නෙවෙයි, කානිවල් අයිස්ක්‍රීම් එකෙන් ගන්න තියෙන පීච් මිල්ක්ෂේක් එක. මේකේ පාට, සුවඳ දෙකම ඒ වගේ.
බොහොම තද තැඹිලි පාටක් තිබුණු කොත්මලේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකේ ක්‍රීමි ගතිය එච්චරම නැහැ. වෙන විදියකට කියනවනම්, මේකේ කිරි රසත් මදි. ස්ට්‍රෝබෙරි රසක් අපට මේකෙන් දැනුණේ නැහැ. ඇත්තම කිව්වොත්, අඹ අයිස්ක්‍රීම් එකක තියෙන රසට හුරු ගතියක් තමයි අපට මේකෙන් දැනුණේ. පාට, සුවඳ, රසය තුනම එකට සැලකුවොත් නම් කීයටවත් කියන්න බැහැ මේක ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් කියලා. අපි කලින් කිව්ව ඇලෙරික්ස් අයිස්ක්‍රීම් එකේ පාටයි, රසයි වැඩි කරොත් කොත්මලේ අයිස්ක්‍රීම් එකේ රස දැනේවි කියලයි මේක කෑව අපේ කට්ටියත් කිව්වේ.
ඒත් පැණි රසට ප්‍රිය කරන කෙනෙක්ට, මේක ආසාවෙන් කන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා.
4. Highland
අපේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් තරගයේ ජයග්‍රාහකයා වුණේ හයිලන්ඩ්. හොඳ තද කිරි රසක් තිබුණු නිසා, ක්‍රීමි ගතියත් හොඳටම දැනුණා මේ අයිස්ක්‍රීම් එකෙන්. ස්ට්‍රෝබෙරි රසත් හොඳ පදමට මේකේ තිබුණා. තද රෝස පාටක් ගත්ත මේ අයිස්ක්‍රීම් එකට තමයි අපේ හැමෝගෙම ඡන්දය ලැබුණේ.
අවසාන වශයෙන්
අයිස්ක්‍රීම් වර්ගයේ නම | මිල (රුපියල්) | ප්‍රමාණය (ලීටර) |
---|---|---|
Kotmale | 260 | 1 |
Alerics | 270 | 1 |
Elephant House | 280 | 1 |
Highland | 250 | 1 |
සමස්තයක් විදියට ගත්තම, හයිලන්ඩ් තමයි ගාණ අඩුම. ඉතින් රසත් හොඳටම තියෙන නිසා ගත්තත් පාඩු නැහැ. පෙනුමෙන් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් විදියට තිබුණත්, එලිෆන්ට් හවුස් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකේ රස හොඳටම අවුල්. හැබැයි එයාලගේ මිල අනිත් වර්ග තුනටම වඩා වැඩියි. ඇලෙරික්ස්, කොත්මලේ අයිස්ක්‍රීම් වර්ග දෙක ගත්තොත්, මිලෙන් වැඩි ඇලෙරික්ස්. ඒත් රසින් වැඩි කොත්මලේ. ඒ කොහොම වුණත්, මේ දෙකේම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්වල පෙනුමක් හෝ රසයක් ඇත්තේ නැහැ.
ඔන්න ඉතින් වෙළඳපොලේ තියෙන සාමාන්‍ය ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්වල රස ගැන අපේ අත්දැකීම අපි කිව්වා. ඉතින් ඔයාලගේ අදහස් මොනවද ඒ ගැන? අපට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳද?