ඉස්සර වගේ නෙමෙයි, මැක්ඩොනල්ඩ්ස් කියන්නෙ දැන් එදිනෙදා ලේසියට පහසුවට ගොඩ වෙන තැනක් විදිහට පුරුද්දට ගිහින්. ඉස්සර නං මැක්ඩොනල්ඩ්ස් යනව කියන්නෙ වෙන ම මැජික් ගමනක් නෙ ඉතිං. දැන් නං පොඩ්ඩෝ විතරක් නෙමෙයි, අම්මල තාත්තලත් හැම පොඩි බඩගින්නට ම දුවන්නෙ මැක්ඩොනල්ඩ්ස්.
කොහොම හරි, මැක්ඩොනල්ඩ්ස් එකේ තියන විශේෂත්වය තමයි කාලෙන් කාලෙට මොකක්හරි අලුත් කෑමක් බීමක් හඳුන්වල දෙන එක. මේ පාර ඒගොල්ලො ඔන්න අලුතෙන් ම ඒගොල්ලන්ගෙ මෙනු එකට එකතු කළේ දිග ම දිග චිකන් සබ්මැරීන් එකක්. මේකෙ නම තමයි ‘ස්පයිසි චිකන් ෆුට්ලෝන්ග්!’
මේක මැක්ඩොනල්ඩ්ස් එකෙන් හඳුන්වල දුන්න පළවෙනි ම නියම සබ්මැරීන් එක නිසා, නිතර ඒ පැත්තෙ යන එන උදවිය මේක ට්‍රයි කරල බලන්න හිටියෙ සෑහෙන උනන්දුවෙන්. මැක් ස්පයිසි එකේ ම ලොකු වර්ෂන් එකක් වෙන්න ඇති කියල හිත හිත අපිත් ගියා හෙන එක්සයිට්මන්ට් එකකින් ස්පයිසි චිකන් ෆුට්ලෝන්ග් එක හොයාගෙන.
රු. 550කට ගන්න හම්බෙන මේක, දැක්ක ගමන් හෙන දිගට පේන, චිකන් පුරවපු ලොකු සබ්මැරීන් එකක්. බන් එක නං අපරාදෙ කියන්න බෑ සෑහෙන ලොකුයි වගේ ම ඒකෙන් බඩත් පිරුණා. ඇතුළට දාල තිබුණේ බැටර් කරපු ස්පයිසි ෆ්‍රයිඩ් චිකන් කෑලි ටිකක්. හැබැයි ඒ ටික ශ්‍රී ලංකන් චයිනීස් රෙස්ටොරන්ට් එකකින් දෙන චිලි චිකන්වලට ළඟ ගතියක් තමයි අපිට නං දැනුණේ. ඒත් රස නිසා කමක් නෑ කියමුකො…
කෑලි කපපු ගෝවා, මායෝ, ලූනු එහෙම බන් එකෙයි චිකන්වල තැවරිලා තිබුණට මොකද, පිරිලා ඉතිරෙන තරමේ සරු පාටක් නං පෙනුණේ නෑ. හැබැයි කද්දි එන ක්‍රීමි ගතිය ටිකක් හොඳ නිසා අවුලක්මත් නෑ කියන්න පුළුවන්.
ගාණේ හැටියට වටිනවද කියල හිතුවොත්, සමස්තයක් විදිහට කියන්න වෙන්නෙ ‘නෑ’ කියලා. හැබැයි, ඒ ගාණට බඩ පිරෙන්න කන්න තරමට ඇති ද කියල ඇහුවොත් නං ඔන්න අපිට ‘ඔව්’ කියන්න පුළුවන්. කෑමවල රස, ගුණ, මිල සහ පෙනුම ගැන වැඩිය නොහිතන, සයිස් එක ගැන විතරක් උනන්දු අයට නං මේක කියාපු සබ්මැරීන් එකක්. ඒත් අපිට නං දැනට සතුටු වෙන්න පුළුවන් මට්ටමක් නෑ කියලයි අපේ අදහස.