‘හැම දෙනාගෙ පෝෂණේ…’
දන්නව නෙ මොකද්ද කියල? මෙන්න මේ ‘හැම දෙනාගෙ පෝෂණේ’ හඳුන්වා දෙන්න කලින් ලංකාවෙ පොඩිහිටියන්ට අම්මලා දුන්න පෝෂණේ නම තමයි ‘ත්‍රිපෝෂ.’
ත්‍රිපෝෂ කියන්නෙ අපේ පුංචි කාලෙ දිහා හැරිල බලද්දි අමතක කරන්න බැරි නමක්. ඒ වගේ ම රසක්. දැන් වැඩිහිටියො වෙලා ඉන්න, ඒ කාලෙ පොඩි ළමයින්ගෙ රස අතීතයෙ වැදගත් ම කොටසක්.
හැබැයි 2000 අවුරුද්දට පස්සෙ ඉපදුණු සමහර තරුණ ළමයි බලනව ඇති මොකක් ගැන ද බොලේ මේ කියවන්නෙ කියල. ඒගොල්ලන්ට දැනගන්නත් එක්ක ත්‍රිපෝෂ ගැන අතීතය පොඩ්ඩක් මතක් කරල ම ඉමු.
ඔන්න දරුවනේ දැන් අරපෝෂ මේපෝෂ කියල ජාති ගොඩක් තිබුණට, එකමත් එක කාලෙක තිබුණෙ ත්‍රිපෝෂ කියල ජාතියක් විතරයි. මේක විශේෂයෙන් දුන්නෙ බර අඩු හෝ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට අතිරේක ආහාරයක් විදිහට. ලංකාවෙ ගම්වල ක්ලිනික්වලට මේවා සපයල තිබුණේ නොමිලේ බෙදාහරින්න. හැබැයි බර අඩු දරුවො නොවන සෞඛ්‍ය සම්පන්න පොඩ්ඩො පවා ඒ කාලෙ මේක රස කර කර කෑවා.
ඉරිඟු සහ සෝයා බෝංචි පාවිච්චි කරමින් හදපු ත්‍රිපෝෂ, 1973 දි ලංකාවට ආවෙ ඇමරිකානු නිෂ්පාදනයක් විදිහට. ලංකාවෙ දි තමයි ඇසුරුම් කරල බෙදාහැරියේ. ත්‍රිපෝෂ ගැන ගොඩක් විස්තර දැනගන්න ආස අයට මේ වෙබ් අඩවියෙන් තොරතුරු දැනගන්න පුළුවන්.
කොහොම වුණත් කාලයක් තිස්සෙ ම ත්‍රිපෝෂ තිබ්බෙ අතුරුදහන් වෙලා. හැබැයි ඔන්න හිටපු ගමන් ම අපිට ආරංචියක් එනව කළුතර පැත්තෙ පොඩි සුපර්මාර්කට් එකකින් ත්‍රිපෝෂ පැකට් එකක් හම්බුණා කියල!
ඒ තොරතුර පස්සෙ ගියාම තමයි අපිට දැනගන්න ලැබුණේ අපේ ආදරණීය ත්‍රිපෝෂ ආයෙත් කරළියට ඇවිත් කියල. ඒ කියන්නෙ ත්‍රිපෝෂ පැකට් ආයෙත් විකුණන්න තියනව දැන්. ප්‍රධාන වශයෙන් තියෙන්නෙ සතොසෙ. අපිට ආරංචි වුණ විදිහට මේක ඇවිත් දැන් ටික කලක් වෙනව ලු. අපේ යමු කට්ටියගෙන් කෙනෙක් ජාඇල ත්‍රිපෝෂ කෝච්චියෙන් ත්‍රිපෝෂ අරං තියනවා. හැබැයි මේව සතොසට හඳුන්වා දීල තියෙන්නෙ ළඟ දි.
අළු මතින් නැගිට්ටට ත්‍රිපෝෂ නැවත ඇවිත් තියෙන්නෙ වෙන නමකින්. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ ම නිෂ්පාදනයක් වෙන මේක, දැන් නම් කරල තියෙන්නෙ ‘සුපෝෂ’ කියල. ඉතිං සුපෝෂ මිලට ගන්න ඔයා අඩු බර බබෙක් වෙන්න ම ඕන නෑ!
පැකට් එකේ පෙනුම වෙනස්වෙලා අලුත් වෙලා තිබුණට, ඉස්සර පැකට් එකේ හිටපු ‘ත්‍රිපෝෂ බබා’ මේ පැකට් එකෙත් ලෝගො එක බවට පත් වෙලා ඉන්නව දකින්න පුළුවන්. ඒ වගේමයි ත්‍රිපෝෂවල අමතක නොවෙන සුවඳත්. ඉස්සර තරම් ම සැරට නහයට දැනෙන සුවඳක් නැතත්, ඉස්සර වගේ ම දැනුණ ගමන් කටට කෙළ උනන විදිහෙ සුවඳක් අලුත් ත්රිපෝෂවලත් තියනවා.
ඉතිං සුවඳ බල බල ඉන්නැතුව අපි තීරණේ කළා අලුත් ත්‍රිපෝෂ හදලා රස කරල ම බලන්න.
හදන ක්‍රමය
ත්‍රිපෝෂ හදන ක්‍රම කීපයක් ම තියනවා. ප්‍රධාන ම ක්‍රම දෙක ගැන පැකට් එකේ පිටිපස්සෙ සඳහන් කරල තියනවා. මේවා සමපෝෂ වගේ ම දියාරුවට වගේ ම ගුලි හදල කන්නත් පුළුවන්.
දියාරුවට හදන්නෙ මෙහෙමයි.
පැණි රස එන්න හකුරු කෑලි කීපයක් එකතු කරල, ඔයාට අවශ්‍ය ප්‍රමාණයට දියාරු ගතිය එන්න වතුර දාල, ඇති තරමට සුපෝෂ භාජනයකට දාගන්න. විනාඩි දෙකෙන් හදාගන්න උදේ ආහාරයක් විදිහට මේක ලේසියෙන් ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. හකුරුවලින් එන පැණි රස එක්ක සුපෝෂවල දිව පිනා යන රස එකතු වුණාම හැදෙන්නේ මරු කෑමක්. සුපෝෂවල කුඩු ගතිය වෙනුවට දිය වුණාම තියෙන්නෙ පොඩි ධාන්‍යමය ගතියක්. යන්තමින් දාපු ලුණුවලින් වෙන්න ඕන, පොඩී තිත්ත ගතියකට හුරු රසකුත් ආව.
මූලික ක්‍රම දෙකෙන් අපි කැමති ම ක්‍රමය වෙන ත්‍රිපෝෂ ගුලි හදාගන්නෙ මෙහෙමයි.
ගාපු පොල් ටිකක්, ඇති තරමට සීනි සහ ලුණු චුට්ටක් එක්ක සුපෝෂ ගොඩක් එකතු කරල හොඳට අනාගන්න. මිශ්‍රණය පේස්ට් එකක් බවට පත් වුණාම පොඩි පොඩි කෑලි අරං ගුලි කරන්න. ගොඩක් පැණි රසට කැමති නම් සීනි ගොඩක් දාගත්තට කමක් නෑ, හැබැයි සුපෝෂ රස යට යන තරමට සීනි දැම්මොත් වැඩක් නැති වෙයි. උණු තේ එකක් එක්ක සුපෝෂ ගුලි දෙකක් කියන්නෙ හැන්දෑ වරුවක් ගෙවන්න මරු ක්‍රමයක්!
අවසාන වශයෙන්
ත්‍රිපෝෂ ආපහු කරළියට ආපු එකෙන්, අතීතෙ රස මතක විඳගන්න විතරක් නෙමෙයි, දැන් ඉන්න පොඩ්ඩන්ට පුරාජේරු කියවන්නත් අපිට චාන්ස් එකක් ඇවිල්ල ඔන්න. ඒ ඔක්කොටමත් වඩා තේ වෙලාවට හරි යන අලුත් කෑමක් හම්බුණ එක ම කොච්චර දෙයක් ද? රුපියල් 80කට ගන්නත් පුළුවන්, විනාඩි දෙකෙන් හදාගන්නත් පුළුවන්. ඉතිං ත්‍රිපෝෂ වෙළෙඳපොළට ආපු එක ගැන අපි නං හරි ම සතුටින්! අපිත් මෙච්චර කියන එකේ, ඔයත් ගෙදර යද්දි ළඟ ම කඩෙන් හරි සතොසකින් හරි පැකට් එකක් අරං ගිහින්, හදල කාල ම බලන්නකො.