උදේ කෑම වේල කියන්නෙ හරිම ආන්දෝලනාත්මක කෑම වේලක්නෙ. පොඩ්ඩ එහාට මෙහාට වුනොත් මග හැරෙනව. වැඩේ තියෙන්නෙ උදේ කෑම වේල මග ඇරෙන එක නෙවෙයි, සතියක් දෙකක් මග ඇරුණාම හැදෙන ගැස්රයිටීස් නිසා විඳින්න වෙන දුක.
සමහරු නම් මේ දුකට පුරුදු වෙලා ඉන්නෙ. හැබැයි ඔය අතරෙ උදේ කෑම වේල බඩට දාගන්න වෙලාව ඉතුරු කර ගන්න කට්ටියත් නැතුවම නෙවෙයි. නිකමට බලන්න එපැයි වැඩට යන වෙලාවට ඔය පොඩි පොඩි කඩවල් වල පිරිල ඉන්න අපේ කට්ටිය. එහෙන් ඉඳි ආප්ප, පිට්ටු ඉල්ලද්දි අනිත් පැත්තෙන් පාන්, පාරාටා ඕඩර් වැහි වැහැලා. ඔය අතරට වැල නොකැඩි වැටෙන්නෙ අල, පරිප්පු, කිරි මාලු කරි ඇණවුම් තමයි.
කොහොම වුනත් අපි නම් කියන්නෙ වැඩ කරන ජනතාව වුනාම කටට රසට, බඩ පැලෙන්න උදේ කෑම වේලක් කන්න ඕන. අන්න ඒකමයි පොඩි ගාණට, හිතේ හැටියට බ්රෙක්ෆස්ට් එක ගන්න පුලුවන් කඩ ටිකක් ගැන ඔයාලට කියන්නත් හිතුවෙ. සමහරු නම් දැනටමත් මේ කඩ වලට ගොඩ වෙන්න පුරුදු වෙලා ඇත්තෙ. එහෙනම් එහෙම නැති අය අහගන්නකො, අහගෙන අද හෙටම ගොඩ වෙලා බලන්න හොඳද.
1. Praneetha
ගංගාරාම හඩ්සන් පාරෙ තියෙන ප්රණීත එක ගැන කොළඹ පැත්තෙ වැඩ කරන අයට නම් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මොකද දවල් කෑමට මේ කඩේ හරිම ප්රසිද්ධයි. හැබැයි ඉතින් දවල් කෑමට සෙකන්ඩ් වෙන්නෙ නැති උදේ කෑම වේලකුත් මෙයාලා ලඟ තියෙනව. රසම රස පොල් සම්බෝල, මදි නොකියන්න කිරි දාලා හදපු අල, පරිප්පු කරි, මිරිස් තුනපහ, අබ සුදුලූණු නියම ගාණට දාලා හදපු කිරි මාලු කරි, රතු බත් සුදු බත් එක්ක විතරක් නෙවෙයි ඉඳි ආප්ප පරාටා එක්ක වුනත් මරුවට ගැලපෙනව. අනික ගාණත් රු. 150ක් 200ක් වගේ වෙන්නෙ.
2. Hotel de Pilawoos
පැය 24ම වගේ ඇරල තියෙන පිලාවූස් වලත් කටට රහට කන්න පුලුවන් උදේ කෑම වේලක් තියෙනව. හැබැයි වියදම නම් රු. 200න් එහා පැත්තෙ. මොකද මෙයාලගෙ අල, පරිප්පු කරි ටිකක් ගණන්. ඒ වුනාට රස සුපිරි. රස පදමට කිරි දාලා හදපු පරිප්පු කරියත් එක්ක මිරිස් හොදි ටිකකුත් ගලප ගත්ත නම් පාන් ගෙඩියකට වුනත් වග කියන්න පුලුවන් තරම් රසයි. ඒ විතරක් නෙවෙයි ඉඳි ආප්ප, පරාටා, පිට්ටු එක්කත් නැගල යනව. හැබැයි පිලා එකේ කිරි මාලු තියෙනවද කියල නම් අපිත් හරියටම දන්නෙ නෑ.
3. Raheema Hotel
උදේ කෑමට ලොකු ප්රසිද්ධියක් නැති වුනාට තර්ස්ටන් එක ඉස්සරහ තියෙන රහීමා හෝටලයෙත් ඉඳි ආප්ප, පරාටා, පිට්ටු තියෙනව. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ අල, පරිප්පු කරි නම් හරිම රසයි. මිරිස් මාලු කරියත් නරකම නෑ. කෑම ටිකත් උණු උණුවෙම මේසෙට එන නිසා තලු මර මර කන්න පුලුවන්. අනික ගාණත් රු. 200ක් වගේනෙ වෙන්නෙ.
4. Uva Hotel
කිරි මාලු වලින් වැඩ දාන්න උපන් හපන් කට්ටියක් තමයි කොල්ලුපිටිය උෟව හෝටලේ ඉන්නෙ. මොකද කොළඹ පැත්තෙ සුපිරිම කිරි මාලු කොත්තුව තියෙන්නෙ මෙයාල ලඟ. සමහරු නම් දන්නවත් ඇති. ඉතින් ඒ කිරි මාලු කොත්තුවට ගන්න කිරි මාලු කරියම තමයි ඉඳි ආප්ප, පාන්, පරාටා එක්ක උණු උණුවෙම මේසෙට එන්නෙ. රස පදමට කිරි දාලා ගම්මිරිස්, තුන පහ ටිකත් නියම ගාණට දාලා හැදෙන මෙයාලගෙ කිරි මාලු කරියෙ රස ඩබල් වෙන්නෙ පිට්ටු එක්ක රස බලද්දි තමයි. ඒ හැරුණාම ඌව හෝටලේ අල, පරිප්පු මිරිස් මාලු කරි එහෙමත් හොඳ රසට තියෙනව. විශේෂම දේ තමයි රු. 150කට 200කට බඩ කට පිරෙන්න කන්න පුලුවන් එක.
5. Devon Bakeaway
අපි දන්න කියන විදියට නම් නුගේගොඩ හයිලෙවල් පාරෙ ඩෙවොන් එකේ තමයි අපේ රහට උදේ කෑම වේලක් රස බලන්න තියෙන්නෙ. රතු බතුයි ව්යංජනයි එහෙමත් තියෙනව. ඒත් කට්ටිය වැඩි පුර ඉල්ලන්නෙ ඉඳි ආප්ප, පාන් එක්ක පරිප්පු හරි කිරි මාලු හරි තමයි. මෙයාලගෙ කෑම වල ගාණ නම් ටිකක් වැඩියි. රු. 300ක් විතර වෙනව. ඒත් රසයි සුව පහසුවයි එක්ක බලද්දි පාඩු නෑ. මොකද ඩෙවොන් එකේ සේවාවත් සෑහෙන්න හොඳයි නෙ. ඔය හැරුණාම කිරි හොදියි පිට්ටුයි රස බලන්නත් කියාපු තැන. එහෙම නැත්නම් කටට සැරට හදපු කට්ට සම්බෝලයක් එක්ක රසම රස කිරි බත් කෑල්ලක් බඩට දාගන්නත් පුලුවන්. කොහොම වුනත් ඩෙවෝන් එක උදේ කෑමටත් කියාපු තැනක් තමයි.
අපි කිව්වෙ කඩවල් 10යිනෙ. ඒ අතරෙ ඔයාල දන්න ඒව වගේම නොදන්න ඒවත් තියෙන්න පුලුවන්. හැබැයි මෙතන නැති ඔයාල දන්න ඒව තියෙනවනම් ඉක්මනටම කමෙන්ට් කරන්න. මොකද කට්ටිය බලන් ඉන්නෙ හෙට උදෙන්ම කටට රහට කිරි මාලුයි ඉඳි ආප්පයි කන්න.