ගෙදරින් කාලා එපා වෙච්ච දවසට කට්ටිය මොකද කරන්නෙ? හොඳ චයිනීස් එකක් නැත්නම් තායි අවන්හලක්, අඩුම තරමෙ පෙට්ටි කඩයක් හරි අල්ලනවනෙ. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි හෝටල් වලට ගිහින් බර්ගර්, සබ්මැරීන්, ඉටෑලියන් ෆුඩ් වගේ ඒව රස බලන. ඒත් ඉතින් අපිට එයාලව අල්ලන්න බෑනෙ. අතමිට සරු අයනෙ.
හැබැයි ඉතින් එහෙමයි කියල රස කෑම නොකා ඉඳලත් බෑ. විශේෂයෙන්ම රයිස් පාරක් කොත්තු පාරක් දාන්න හිතුණාම කන කම් ඉවසිල්ලක් නෑනෙ. අමාරුම වැඩේ තමයි ඔය වෙලාවට හැමදාම කන රයිස් කොත්තු වලට වෙනසක් දෙන්න පුලුවන් කඩයක් හොයා ගන්න එක. බාග වෙලාවට ඉන්ටර්නෙට් එක පීරන්නත් වෙයි. නැත්නම් යාළුවෙක්ගෙ පිහිට පතන්න වුනත් වෙන්න පුලුවන්.
කොහොම වුනත් ඔය කරුණු කාරණා හැම එකක්ම වගේ සැලකිල්ලට ගත්තාම තමයි අපිට තේරුනේ අපේ රහට හොඳට කැපෙන වෙනස් රසක රයිස් පාරක් කන්න පුලුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න ඕන කියල. ඒ නිසාමයි වට පිටාවෙ ඇවිදල කරල කටට රහට මොන්ගෝලියන් රයිස් පාරක් දාන්න පුළුවන් කඩ ටිකකුත් හොයා ගත්තෙ.
ඔන්න මීට පස්සෙ නම් අපේ කට්ටියට බල බල ඉන්න ඕන වෙන්නෙ නෑ. ගෙදරින් කන්න බෑ කියල හිතුණ ගමන් යන්න, මෙන්න කඩ ටික.
1. Machang
මොන්ගෝලියන් රයිස් විතරක් නෙවෙයි පට්ට රස මොන්ගෝලියන් නූඩ්ල්ස් එකක් කන්නත් කියාපු තැනක් තමයි මචං එක. රු. 450ක් වගේනෙ වෙන්නෙ. පොඩියට කපල පදමට බැදපු චිකන් කෑලි වලින් එන රස නම් කියල නිම කරන්න බැරි තරම්. හාෆ් බොයිල් ඔම්ලට් එකත්, ඒකටම කියාපු. එකකොට මොන්ගෝලියන් සෝස් වලින් එන රස, සුවඳ, දැනෙද්දි කාගෙන කාගෙන කාගෙන යන්න හිතෙන ගාණයි. කැරට්, ලීක්ස් එහෙමත් මදි නොකියන්න දාලා තියෙන නිසා. කවුරු කොහොම කිව්වත් මචං මොන්ගෝලියන් නම් පට්ටයි.
2. The Barnesbury Express
කොල්ලුපිටිය ලිබර්ටි ආර්කේඩ් ෆුඩ් කෝට් එකෙත් රසම රස මොන්ගෝලියන් රයිස් තියෙනව. හැබැයි බාර්න්ස්බරි එකටම යන්න ඕන. එයාල නම් මේවට කියන්නෙ මොන්ගෝලියන් නාසිගුංරාන් කියල. මොනව වුනත් මොකද රු. 450 කට බඩ පැලෙන්න, හිත පිරෙන්න කන්න ලැබෙනව නම්. අනික ගැඹුරු තෙලේ පදමට බැදපු චිකන් කෑලි තොගයකුත් තියෙනවනෙ. මදි පාඩුවට රස බුල්සායි එකකුත් තියෙනව. හැබැයි මොන්ගෝලියන් රයිස් වලට ආවේණික වේලුණු ගතිය නම් මෙයාලගෙ මොන්ගෝලියන් වල ටිකක් අඩුයි.
3. Steam Boat
කට්ටිය හොඳට දන්න කියන තැනක්. වැඩේ කියන්නෙ හැමෝම රස බලන්නෙ මෙයාලගෙ සී ෆුඩ් චයිනීස්, තායි කෑම ටික විතරයිනෙ. එහෙමත් වෙලාවක වෙනස් කෑමක් රස බලන්න ආසාවෙන් එන කෙනෙක් හැරුණොත් මෙයාලගෙ මොන්ගෝලියන් මෙනුව නිකන්මයි. එහෙනම් ඔන්න මෙදා පාර ස්ටීම් බෝට් ගියාම මොන්ගෝලියන් රයිස් එකක් රස බලන්න මතක තියාගන්න. විශේෂයෙන්ම සී ෆුඩ් මොන්ගෝලියන් එකක්. උපරිම වුනොත් රු. 500ක් වගේනෙ වෙන්නෙ.
4. Cafe on the 5th
රු. 400ට 450ට ශ්‍රී ලංකන් මොන්ගෝලියන් එකක් රස බලන්න ආසයිද? එහෙනම් යන්න තර්ස්ටන් එක ඉස්සරහ 5වෙනි පටුමගේ තියෙන කැෆේ ඔන් ද ෆිෆ්ත් එකට. කටට සැරට විතරක් නෙවෙයි චීස් රසට වුනත් මොන්ගෝලියන් කන්න මරු තැන. හැබැයි ඉතින් ඔරිජිනල්ම මොන්ගෝලියන් රසයෙන් ටිකක් එහාට මෙහාට වුනු රසක් තමයි තියෙන්නෙ. බැදපු චිකන් කෑලි, කැරට් ලීක්ස් එහෙමත් මදි නොකියන්න තියෙනව. විශේෂයෙන්ම සැර ගතිය හොඳට තියෙන නිසා තළු මර මර කන්න පුලුවන්.
5. Mongolian BBQ
එම් සී එකේ මොන්ගෝලියන් බාබකියු කඩේ ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොළඹ පැත්තෙ අඩුම ගාණට රසම මොන්ගෝලියන් කන්න පුළුවන් හොඳම තැන. සී ෆුඩ්, චිකන්, මික්ස්, වෙජි රස වලින් තමයි මෙයාලගෙ වැඩ කිඩ ටික යන්නෙ. කලාතුරකින් මට්න් මොන්ගෝලියන් වගේ ඒවත් රස බලන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් මොන දේ කෑවත් උපරිමය රු. 500ක් වෙයි. ඔරිජිනල්ම මොන්ගෝලියන් නිසා කියන්න නම් අඩු පාඩු නෑ. හැබැයි එක දෙයක් කියන්න ඕන. මෙයාලගෙ කට්ල් ෆිෂ් මොන්ගෝලියන් එක නම් පට්ට රසයි.
6. Spice & Ice
වැල්ලවත්තෙ ස්පයිස් ඇන්ඩ් අයිස් එකෙත් රස මොන්ගෝලියන් රයිස් තියෙනව. හැබැයි ඔරිජිනල් ඒව නම් නෙවෙයි. සෑහෙන්න දුරට ලාංකීය ආභාෂය මිශ්‍ර වෙලා තියෙන්නෙ. ඒ නිසාමද කොහෙද කන් දෙකෙන් දුම් දාන්න සැර තියෙනව. කැරට්, ලීක්ස් යහමින් තිබුණට චිකන් නම් ටිකක් මදි වගේ. හැරත් මොන්ගෝලියන් සෝස් එකතු වෙලා තියෙනවත් මදි. ඒත් මොකද ගාණ රු. 250යි 300යිනෙ වෙන්නෙ.
7. Diyawanna Food Court
මේ… සුපිරි මොන්ගෝලියන් නම් නෙවෙයි, ගාණ රු. 200ක් 300ක් වුනාට. අනික රසත් එච්චරටම හොඳයි කියන්න බෑ. ඇස් වලින් කඳුලු පනින තරමට සැර තිබුණට මොකද මොන්ගෝලියන් සෝස්, එතකොට කැරට් ලීක්ස් පවා, පදමට දාන්න අමතක වෙච්ච ගතියක් තියෙනව. කෝකටත් එක පාරක් කාලා බලන්නකො. මොකද අපිට හරි නොගියට ඔයාලට හරියන්න ඉඩ තියෙනවනෙ.
8. The Paddington
ගාණ ටිකක් සැර වුනාට මොකද ඔන්න තියෙනව තවත් ඔරිජිනල් මොන්ගෝලියන් කන්න කියාපු කඩයක්, මියුසියස් එක ඉස්සරහ. ඒ කියන්නෙ බාන්ස් ප්ලේස් වල. බැදපු චිකන් කෑලි වලින් පිරුණු, රස පදමට මොන්ගෝලියන් සෝස් දාලා හදපු මෙයාලගෙ මොන්ගෝලියන් එකෙත් මදි නොකියන්න කැරට්, ළුෑණු කොළ එහෙම තියෙනව. වැඩේ කියන්නෙ මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකට බුල්සායි එන්නෙ නෑනෙ. බුල්සායි එන්නෙ නාසි වලට. කොහොම වුනත් මෙයාලගෙ ගණන් නම් රු. 450ත් 500ත් අතර වෙනව.
9. The Red Pineapple
කොල්ලුපිටිය ගාලු පාරෙ තියෙන මේ කඩෙත් මොන්ගෝලියන් රයිස් තියෙනව. ඔරිජිනල් වගේ වුනාට ඔරිජිනල් නෙවෙයි. මොකද බැදපු චිකන් වල රස ටිකක් වෙනස්. අනික චිකන් එකතු කරල තියෙනවත් ටිකක් මදි. අනිත් අඩුම කුඩුම ටික පදමට එකතු කරල තිබුනට රස බැලුවට පස්සෙ තමයි තේරෙන්නෙ, නොතේරෙන මොකක්දෝ අවුලක් තියෙනව කියල. ඒ කිව්වෙ රස එහෙම පිටින්ම අවුල් කියල නෙවෙයි, මොන්ගෝලියන් කෑම වලට අනන්‍ය රස ටිකක් විතර මදි කියල. කොහොම වුනත් ඉතින් රු. 450ක්නෙ.
ඇත්තම කියනව නම් අඩු ගාණට වැඩිම රසට මොන්ගෝලියන් රයිස් කන්න පුලුවන් මේ කඩ ටික හොයාගත්තෙ හරිම අමාරුවෙන්. ඒ නිසා ඔයාල දන්න, මෙතන නැති කඩ ටිකකුත් අපේ ලැයිස්තුවට එකතු කරනව නම් තමයි වටින්නෙ.