ගෙදරට ඉන්න, පාරට යන්න අඳින්න, රෑට පොරවන්න විතරක් නෙවෙයි හදිස්සියට බෙඩ් ෂීට් එකක් විදියට පාවිච්චි කරන්නත් කියාපු ඇඳුමක්නෙ සරම කියන්නෙ. ඔය කිව්වට අපි කොල්ලො කුරුට්ටො කාලෙ පන්සල් වත්තෙ හොර පොල් කඩන්න ගස් වළල්ල විදියට පාවිච්චි කලෙත් සරමම තමයි.
ඉන්දුනීසියාවෙන් උපත ලැබුවට මොකද ඒ කාලෙදිම වගේ සරම අපෙත් ඇඳුමක් වුනා. වෙන දෙයක් නිසා නම් නෙවෙයි, සරමෙ තියෙන සුව පහසුවයි එක එක අවශ්‍යතා මත එක එක විධි වලට අඳින්න පුලුවන් වෙච්ච එකයි නිසා. අවාසනාවට අද වෙද්දි නම් අපේ කට්ටය සරම අඳින්න රෑට විතරයි. ඒ හැරුණාම, එහෙමත් වෙලාවක තමයි කඩේට යන කොට හරි සරම අඳින්නෙ. කොහොම වුනත් ෆුල් ටයිම් සරම අඳිනව දකින්න නම් පරණ අංකල් කෙනෙක්වම සෙට් කර ගන්න වෙනව.
හැබැයි මේ ලඟකදි ඉඳන් අපේ කට්ටිය පාර්ටි වලට යන්න ටිකක් පොෂ් විදියට සරම අඳින්න ට්‍රයි කරන ගතියක් තියෙනව. කොටින්ම කියනව නම් මාත් එහෙමයි. ඒ නිසාමයි මම එහෙන් මෙහෙන් අමුණල කරල පොෂ් විදියට සරම අඳින්න පුලුවන් මෙන්න මේ ක්‍රම ටික හොයාගත්තෙ. බලන්නකො බාග වෙලාවට මේවා ඔයාලටත් ගැලපෙන්න ඉඩ තියෙනව.
1. රැලි තුන (මහපු සරම)
මේක අඳින්න හරිම ලේසිය. සාමාන්‍ය විදියට තනි රැල්ල හරි රැලි දෙක හරි එළියට පේන්නෙ නැතිවෙන්න තියල සරම අඳිනවනේ. එහෙම අඳිද්දි රැලි වල පළල අඩු කරල රැලි තුනකට තියෙන්න හදා ගත්ත නම් වැඩේ හරි. හැබැයි එතනදි ඒ රැලි තුන, එක උඩ වැටෙන විදියටයි ඒව අතරෙ ගැප් එකක් තියෙන විදියටයි තමයි තියා ගන්න ඕන, හරියට සාරියක වගේ. ඊට පස්සෙ ඇතුලෙම රැල්ල ටිකක් කොට වෙන්න උඩට අදින්න. මැද රැල්ල, එච්චරටම නැතුව ඉස්සරහ රැල්ලයි ඇතුලෙ රැල්ලයි මැද උසක් තියෙන විදියට උඩට අඳින්න. දැන් අල්ලන් ඉන්න කෙලවරවල් ටික ඇතුලට ඔබල බෙල්ට් එක දාගන්න.
2. උඩු නැම්ම (මහපු සරම)
මේ ෆැෂන් එක මහපු හැම සරමකින්ම කරන්න බෑ. අලුතෙන් එන කණපිටක් නැති සරම් වලින් තමයි කරන්න පුලුවන්. සරමෙ උස තුන් කාල (ත්‍රී ක්වාටර්) හිටින්න අරගෙන වැඩි ටික ඉණ ලඟින් එළියට හිටින්න තියල නැම්ම ගන්න. ඊට පස්සෙ රැලි තුන හරි රැලි දෙක හරි තියල අඳින්න බැරියැ. හැබැයි මේකෙ ලස්සන එන්නෙ නම් සරමෙ පාටට කැපෙන කැන්වස් වගේ සපත්තු දෙකකුත් දැම්මාම තමයි.
3. වැහුනු රැලි (මහපු සරම)
පොෂ් විදියට පේන්න ඕන නම් අඳින්න කියාපු ස්ටයිල් එක. හරි ලේසියි. කරන්න තියෙන්නෙ සරම නවද්දි, එළියෙ රැල්ලෙන් වැහෙන විදියට ඇතුලෙ රැල්ල හරි රැලි දෙක හරි නවන එක. හැබැයි එහෙම නවල එළියෙ රැල්ල ඉස්සරහට එන විදියට ඇඳල හරියන්නෙ නෑ. ඒ රැල්ල එන්න ඕන කලව පැත්තට.
4. උඩු රෝල (මහපු සරම)
මේ ස්ටයිල් එකෙත් අමුතු ගැම්මක් නැත්තෙම නෑ. සාමාන්‍යයෙන් කරන්නෙ සරමෙ උස තියල වැඩි ටික ඇතුල් පැත්තට හිටින්න නවන එකනෙ. මෙතනදි කරන්නෙ ඒ වැඩි ටික එළිය පැත්තට හිටින්න රෝල් කරන එක. ඊට පස්සෙ තනි රැල්ල තියල බෙල්ට් එකක් දැම්ම නම් මරේ මරු.
5. උඩු ගැටය (නොමහපු සරම)
ලංකාවෙ අපිට ටිකක් අලුත් වුනාට මොකද සුද්දො නම් නොමහපු සරමට සෑහෙන්න කැමතියි. විශේෂයෙන් කියන්න ඕන මේ සරම හරියන්නෙ හොඳට ජිම් එහෙම ගිහිල්ල ලස්සනට ඇඟ හදාගත්තු කෙනෙක්ට තමයි. මොකද නොමහපු සරම අඳින්නෙ බීච් පාර්ටි වලටනෙ. දෙපොට ඇඳල කෙලවරවල් දෙක අල්ලල ඩබල් පිරිමි ගැටේ ගැහුවාම පට්ට ලස්සනයි.
ඇත්තම කියනව නම් ඔය බීච් පාර්ටි බහින අයියල, මල්ලිල අපි කියුවටත් වඩා ලස්සන සරම් ස්ටයිල් දන්නව. ඉතින් අපිටයි අපේ යාලුවන්ටයි දැන ගන්න සරම් ස්ටයිල් දෙක තුනක් කමෙන්ට් කරන එක එයාලගෙ යුතුකම. නැද්ද මං කියන්නෙ.