හෙටින් පටන් ගන්න දිග නිවාඩුවට කෑම්පින්ග් පාරක් දාන්න කියාපු තැන් ටිකක් අපි ඊයෙ කිව්වනෙ. ඒත් ඒ ටික කිව්වෙ තාමත් නිවාඩුව ප්ලෑන් නොකරපු කට්ටියට. එතකොට නිවාඩුව ප්ලෑන් කරපු කට්ටියට?
ඔව් එයාලට තමයි අපි අද මේ කියන ලැයිස්තුවෙ වටිනාකම තියෙන්නෙ. මොකද මේක ඇවිල්ල එසේ මෙසේ ලැයිස්තුවක් නෙවෙයි. කට්ටිය නිතරම පාහේ ට්‍රිප් යන පැති වල කරන්න තියෙන සුපිරිම ඇඩ්වෙන්චර් වැඩ ලැයිස්තුවක්. එහෙනම් පිටත් වෙන්න කලින් නරකද මේක කියවල බලල ලෑස්ති වෙලාම ගියොත්.
1. මීමුරේ
නකල්ස් නිම්නයේ තියෙන මීමුරේ ගම්මානය මේ ලඟකදි ඉඳන් අපේ කට්ටියගෙයි සුද්දන්ගෙයි ලොකු අවධානයකට ලක්වෙලා. වෙන දෙයක් නිසා නෙවෙයි, මීමුරේට ගියාම පාරම්පරික ගම්මානයක සුන්දරත්වය අත් විඳන්න පුලුවන් නිසා. හැරත් හිතේ හැටියට ස්වභාව සෞන්දර්යය අත් විඳින්නත් පුලුවන්නෙ. ඔය අතරෙ ටිකක් වෙනස් දෙයක් කරන්න දඟලන කට්ටියටත් මීමුරෙන් ලොකු දෑවැදි දෙක තුනක් ලැබිල තියෙනව, මෙන්න මේ වගේ.
ලකේ ගල
කණගාටුවෙන් වුනත් මුලින්ම කියන්න ඕන ලකේ ගල නගින්න හොඳම කාලෙ මේක නෙවෙයි. මොකද මේ කාලෙ ඇවිල්ල ටිකක් හුලං තියෙන කාලෙනෙ. අගෝස්තු ඉවර වුනා විතරයි. අන්න ඒ නිසා ලකේ ගල නගිද්දි ගොඩක්ම ප්‍රවේසම් වෙන්න ඕන. මතක තියා ගන්න මේ ගමනට අනිවාර්යයෙන්ම මග පෙන්වන්නෙක් එක්කන් යන්න. එතකොට ඇඟිල්ලක් තරම් වත් මහත, අඩි 15ක් වත් දිග නැව් කඹයකුත් අරන් යන්න වෙනව. අනික කන්දෙ යද්දි කෑ ගගහ යන්න එපා. මොකද අතර මගදි මුණ ගැහෙන එක තැන්නක කුලු හරක් දෙන්නෙක් ඉන්නව, ඇවිස්සුණොත් කපෝතියි.
තාලි කට
හිතේ හැටියට වතුරෙ පැනල සැප ගන්න කියාපු තැන. හැබැයි පීනන්න පුලුවන් වුනත් බැරි වුනත් ලයිෆ් ජැකට් දාගෙන වැඩේට බහින්න අමතක කරන්න එපා.
තාලි කට ඇවිල්ල දෙබිඩි දිය ඇල්ලක්. මුලින්ම හමුවෙන පොඩි දිය ඇල්ල අඩි 8ක් 10ක් විතර උසයි. ඒත් ඒකෙ පොකුණ නම් අඩි 12ක් 13ක් ගැඹුරුයි. එතනින් පැනල බය ඇරුණට පස්සෙ ලොකු එකෙන් පනින්න පුලුවන්. ඔය කිව්වට ලොකු දිය අැල්ල අඩි 15ක් 16ක් විතර උස නිසා ගොඩ දෙනෙක් එතනින් පනින්නෙ නෑ. මොකද එතන පොකුණෙත් ගැඹුර තිබුණට පළල අඩුයි. පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් ගලක් උඩට තමයි පතබාන්නෙ.
2. කිතුල් ගල
කැළණි ගං මිටියාවත වට කරගත්තු සුන්දර වන පෙතක පහස විඳින්න අපි ගොඩ දෙනෙක් කිතුල් ගල ගියාට ත්‍රාසජනක අත් දැකීම් ගන්න සෙට් වෙන්නෙ බොහොම පොඩි පිරිසයි. වෙන දෙයක් නිසා නෙවෙයි ආසාවයි, ජීවිතයයි අතරට දෙගිඩියාවක් දෙන්න අකමැතිකම නිසා. කොහොම වුනත් ආසාවට ඉඩ දෙන්න කැමති අය ඉන්නව නම් මෙන්න කිතුල් ගල පැත්තෙන් සුපිරි ඇඩ්වෙන්චර් වැඩ දෙකක්.
නයිට් රාෆ්ටින්ග්
by balibestadventure
මුලින්ම කියන්න ඕන රාෆ්ටින්ග් කරන පළවෙනි පාරටම නයිට් රාෆ්ටින්ග් කරන්න සෙට් වෙන්න බෑ. ඒකට, ඩේ රාෆ්ටින්ග් කරල පුහුණුව තියෙන්න ඕන. අනික ඔයාලගෙ ගයිඩ් කියන දේට පිටින් මොනවත් කරන්න යන්න එපා. බෝට්ටුවට නගින්න කලින් ලයිෆ් ජැකට් එක හරියට ඇඳගෙනද කියල බලන්න. එතකොට ඔලුවෙ හයි කරන ටෝච් එකත් හරිද බලන්න. කොහොමත් එක තැනකදි හරි වතුරට වැටෙන නිසා හිත හයිය කරගෙන ඉන්න ඕන හොඳද.
වෝටර් ෆෝල් ක්ලයිම්බින්ග්
by bestoflanka
නයිට් රාෆ්ටින්ග් තරම් දරුණු නැති වුනාට මේකත් සෑහෙන්න ත්‍රාසජනක වැඩක්. හෙල්මට් දාලා, ක්ලයිම්බින්ග් රෝප් එකට බෙල්ට් ටික තද කරගෙන, ක්ලයිම්බින්ග් සපත්තු දෙකකුත් දාලා වැඩේට බැස්ස නම් බය වෙන්න දෙයක් නෑ. ආ.. මතක ඇතුව ලයිෆ් ජැකට් එකත් දාගන්න. මොකද ලිස්සල වැටුණොත් දිය ඇල්ල පාමුල පොකුණෙනෙ. මොකටද නිකන් ගිලිල මැරෙන්නෙ.
කිතුල් ගල ටවුමට මෙහා ඉඳන්ම ඇඩ්වෙන්චර් ඉවෙන්ට් කරන කඩවල් නම් තියෙනව. ඒත් හොඳට හොයල බලල හිතට සැටිස් තැනකින් වැඩේට සෙට් වෙන එක තමයි හොඳ.
3. ඇල්ල
ස්වභාව සෞන්දර්යය වගේම පුරා විද්‍යාත්මක වටිනා කමක් තියෙන තැනුත් දැක බලා ගන්න කියාපු පැත්ත. හරිම සෞම්‍ය දේශ ගුණයක් තියෙන්නෙ. අනික මිනිස්සුත් සෑහෙන්න හිතවත්. ඒ නිසා බය නැතුව ගමේ කෙනෙක් අල්ලගෙන වුනත් කැලේ කොලේ ඇවිදින්න පුලුවන්. එහෙනම් අහගන්නකො ඇල්ල පැත්තෙ ඇඩ්වෙන්චර් වැඩ ටික.
නිල් දිය පොකුණ
හරියට යනව නම් පැය හයෙන් ගිහින් එන්නත් නැති නම් දවසක්ම වියදම් කරල වැඩේ අම්බානෙකට නාගන්නත් කියාපු තැන. ඇත්තම කියන්නම් කාගෙන් හරි අහගෙන නම් ජීවිතේට යන්න වෙන්නෙ නැති ගමනක්. අමාරුවෙන් හරි යන්න පටන් ගත්තත් ආයෙ ඒමක් නම් ෂුවර් කරන්න බෑ. මොකද කට්ට කලුවරේ, ඉමක් කොනක් පේන්නෙ නැති ප්රපාතයක් මැද්දෙන් කිලෝ මීටර බාගයක් විතර යන්න තියෙනව. ලිස්සන එකෙත් සීමාවක් නෑ. අනික පාරක් කියල එකකුත් නෑනෙ. කඹයක් ඕනම නැති වුනාට තිබ්බ නම් හොඳයි කියල හිතෙන වාර අනන්තයි. ටෝච් නම් 4ක් 5ක් තිබ්බත් මදි. කෝකටත් වතුරයි කෑමයි නම් අරන් යන්න. හදිස්සියෙවත් අතර මං වුනොත්1.
කුරුල්ලන් ගල
කිතුල් ගල වෝටර් ෆෝල් ක්ලයිම්බින්ග් පරාදයි. මොකද ඔක්කොම වැඩ මැනුවල් කරන්න තියන්නෙ. ඝන කැළේ මැද්දෙන් කිලෝ මීටර භාගයක් විතර කන්දෙ නැගල ඊට පස්සෙ බිත්තියක් වගේ ගලක් දිගේ නගින්න ඕන. ඒකටත් තියෙන්නෙ නුග වැල් වල පිහිට විතරයි. අනික පොද වැස්සක් ගියත් ගල ලිස්සන නිසා හරිම භයානකයි. මේ ගමනත් මග පෙන්වන්නෙක් නැතුව යන්න අමාරුයි. හදිස්සියෙවත් බහිද්දි රෑ වුනොත් අනිවා කැලේ අතර මං වෙනව. හැබැයි මොනව වුනත් ගන්නව නම් මෙන්න රියල්ම ඇඩ්වෙන්චර් ආතල්.
ඒක නෙවෙයි, මෙන්න මේකත් මතක තියා ගන්න. ඇඩ්වෙන්චර් කියන්නෙ ජීවිතයයි, ආසවයි අතර කෙලින පිස්සුවක්. තමන්ගෙ වගකීම තමන් බාර ගන්න ඕන. පොඩ්ඩක් හරි ගැස්සුණොත් කාට වැරුද්ද දැම්මත් වැඩක් නෑ. ඒ නිසා පරිස්සමින්, හොඳද යාලුවනේ.