ඔය කළුනික හොයනව වගේ වැඩක්ලුනෙ චොකලට් කන්න අකමැති අය හොයනව කියන්නෙ. බාල මහලු, ලෙඩා දුකා භේදයක් නැතුව හොරාට හරි චොකලට් කෑල්ලක් රස බලන්න අපි කවුරුත් කැමතියි. චොකලට් වලට තියෙන මේ ඉල්ලුම නිසාම කාලෙත් එක්ක චොකලට් වලින් එක එක කෑම ජාති පවා හැදෙන්න පටන් අරන්, චොකලට් කේක් කියයි, චොකලට් කුකීස් කියයි, කොටින්ම කියනව නම් දැන් දැන් චොකලට් රොටිත් තියෙනවනෙ.
ඔන්න ඔය නිසයි අපි කල්පනා කළේ චොකලට්වලින් වැඩ දාලා හදන තවත් ඒ වගේ සුපිරි අතුරුපසක් ගැන ඔයාලට කියන්න, ඉක්ලෙයාර්, ඩෝනට් වගේ!
නම ඇහුව ගමන් නම් හැමෝම දන්නව, ඒත් වැඩේ කියන්නෙ චොකලට් රසයෙන් අනූන, කනකොට කට දෙපැත්තෙන් චොකලට් බේරෙන තරමට චොකලට් දාලා හදන මේ අතුරුපසවල හොඳ, රස ඒව කන්න තියෙන තැන් ගැන කට්ටිය හරි හැටි දන්නෙ නැති එකනෙ.
හරි, එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මොකද අපි අද කියන්න යන්නෙ රස වෑහෙන ඉක්ලෙයාර්, ඩෝනට් කන්න කියාපුම කඩ ටිකක්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව, අපි කියන කඩවල්වලින් ඉක්ලෙයාර්, ඩෝනට් කාලා හොරාට ඉන්න බෑ හොඳද. රස කොහොමද කියල අපිටත් කියන්න ඕන.
1. Oshella
රු. 110ට ලංකාවෙ ගන්න තියෙන සුපිරිම ඉක්ලෙයාර් එකද මන්දා. ඒ තරමට රසයි. චොකලට් රසයෙන් අනූනයි කියන්නෙ අටක් දහයක් වුණත් කාගෙන කාගෙන යන්න පුළුවන් ගානයි. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ ඉක්ලෙයාර් එක අනිත් කඩවල ඉක්ලෙයාර් වලට වඩා ටිකක් ලොකුයි. උඩින් දාපු ඝන චොකලට් ඇතිරුමයි මැද්දට දාපු මෘදු අයිසින් තට්ටුවයිත් පංකාදු පහට තියෙනව. හැබැයි ඉතින් ඔෂෙල්ලා කියන්නෙ හෝම් බේකර් කෙනෙක් නිසා දවසකට කලින් වත් ඕඩරේ දාන්න ඕන. අනික අඩුම තරමෙ ඉක්ලෙයාර් 8ක් වත් ඕඩර් කරන්නත් ඕන.
2. Tasty Caterers
හැව්ලොක් ටවුණ්, ෆයිෆ් පාරෙ තියෙන ටේස්ටි කේටර්ස් එකට බත් කන්න එන අය අතරෙ නැගල යන අතුරුපසක් තමයි එයාලගෙ ඉක්ලෙයාර් එක. රු. 70ක් 80ක් වෙන්නෙ. ඒ වුණාට රස සුපිරි. ඔෂෙල්ලගෙ තරම් උඩු චොකලට් ඇතිරුමක් නැති වුණාට මොකද මැද්දෙ තියෙන අයිසින් පිරවුම නම් පංකාදු පහයි. කොහොම වුණත් ටේස්ටි කේටර්ස් එකේ ඉක්ලෙයාර්, චොකලට්වලට කෑදරම කට්ටියට නම් හරියන එකක් නෑ මගෙ හිතේ.
3. Dolce Italia
රු. 200ක් වුණාට මොකද පොලිස් පාර්ක් ඉස්සරහ ඩොල්ෂෙ ඉටාලියාවල චොකලට් ඉක්ලෙයාර් එකේ තියෙන්නෙත් මතක් වෙද්දිත් කටට කෙල උනන රසක්. අනික අතට කටට අහුවෙන ගානට ටිකක් ලොකුවට තියෙනවත් එක්කනෙ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ ඉක්ලෙයාර් වලට දාන චොකලට්වල රස පට්ට ජෙනුයින්. මම හිතන්නෙ ඔරිජිනල් ඉටෑලියන් හරි බෙල්ජියම් හරි චොකලට් වෙන්න ඕන.
4. Klassy Pastry Shop
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරෙ, ඩි. ෆොන්සේකා මාවතේ පිහිටල තියෙන ක්ලැසි පේස්ට්‍රි කඩෙත් තියනව නියම ඉක්ලෙයාර් එකක්. සුපිරියිම කියන්න බැරි වුණාට මොකද රු. 70ට 80ට සෑහෙන්න වටිනව. ඒත් උඩු චොකලට් ඇතිරුම නම් තව ටිකක් ඝන වෙන්න ඕන. මැද්දෙ අයිසින් ඇතිරුමෙත් චොකලට් රස තව ටිකක් වැඩි වුණා නම් මරේ මරු.
5. Don’s Deli
ඉක්ලෙයාර් ගැන කියන්න කලින් කියන්න ඕන කොල්ලුපිටිය හේග් පාර කෙලවරේ තියෙන ඩොන්ස් ඩෙලි එකට ගියොත් අනිවා බ්රවුනි කෑල්ලක් රස බලන්න. ආයෙ කියල වැඩක් නෑ, සුපිරි. අවාසනාවට මෙයාලගෙ ඉක්ලෙයාර් නම් ඉක්මනටම ඉවර වෙනව. මොකද චොකලට් රසයෙන් අනූන ඝන චොකලට් ඇතිරුම නිසා වැඩි හරියක්ම පොඩ්ඩො එහෙම දෙසා බානව. වැඩේ කියන්නෙ ඩොන්ස් ඩෙලි එකේ ඉක්ලෙයාර්වල මැද්දෙ අයිසින් පිරවුම නම් ටිකක් අඩුයි වගේ. ඒත් මම නම් ඒකට කැමතියි. රු. 100ක් 120ක් වගේ වුණාට මොකද බඩ කට වගේම හිතත් පිරෙනව නම්, නේ?
6. The Gourmet Station
අතුරුපස විතරක් නෙවෙයි ෂෝටීස් කන්නත් කියාපු තැන. තියෙන්නෙ ගෝල් ෆේස්වල, කින්ග්ස්බරි හෝටලයෙ. සුපිරියි කියන තක්සේරුව දෙන්න බැරි වුණාට මොකද මෙයාලගෙ ඉක්ලෙයාර් එකෙත් රස හොඳයි. මැද්දෙ අයිසින් පිරවුමේ චොකලට් රසත් නියමයි. ඉක්ලෙයාර් එකේ සයිස් එක ටිකක් ලොකු වුණා නම් තමයි සෑහෙන්නම වටින්නෙ. මොකද දැනටමත් කෑල්ලක් රු. 200ට කිට්ටුයිනෙ.
ඒක නෙවෙයි අපිට ගොඩක්ම හමුවුණේ රස ඉක්ලෙයාර් ගන්න පුලුවන් කඩ විතරයි. ඩෝනට් කඩ ටිකක් අඩුුයි. එහෙමයි කියල ඉතින් කට්ටිය ඉක්ලෙයාර් විතරක් කන්නයැ. ඒ නිසා ඔයාලා දන්න ඩෝනට් කඩ එහෙම තියෙනව නම් ඉක්මනටම කමෙන්ට් කරන්න හොඳද. එතකොට අපේ යාලුවන්ටත් දැන ගන්න පුලුවන්නෙ.