ශ්‍රී ලංකාව වගේ පුංචි රටක උප්පතිය ලබලා, තමන්ගේ හැකියාවෙන් කලා ලෝකය හැඩ කරලා, තමන් ඉපදුණු රටේ නම ලෝකයට ම ගෙනියන්න සමත් වුණු යුග පුරුෂයෝ රාශියක් ඉන්නවා. ඒත් එයින් සමහරක් ගැන අපට දැන් තියෙන්නේ මතක ගොන්නක් විතරයි. හැබැයි ඔවුන් තිළිණ කරපු කලා නිර්මාණ එදා අද විතරක් නෙවෙයි, හෙටටත් අගය කරන්න පුළුවන්.
දශක පහකටත් වැඩි කාලයක් ලාංකේය රිදී තිරය තමන් සතු විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් කරපු ජෝ අබේවික්‍රමයන් එවන් කෙනෙක්. මීට අවුරුදු 6කට කලින්, සැප්තැම්බරයේ අද වගේ දවසක අපෙන් සමුගත්ත ඔහු, ලංකාවේ සිනමාව වෙනුවෙන් කරපු මෙහෙය අනන්තයි, අප්‍රමාණයි. රංගධරයෙක් විදියට ඔහු කළ ඒ මෙහෙවර ගැන මේ වගේ සටහනක් තියන්න අපි හිතුවේ ඒකයි.
ලෙල්ලොපිටිය ගම්මානයේ උපන් ජෝන්
ගම්මාන පටබැඳිගේ දොන් ජෝන්; මේ 1927 ජුනි 13 වැනිදා රත්නපුර ලෙල්ලොපිටිය නම් ගමේ ඉපදුණු ඔහුට උපතේදී ලැබුණු නම. ඔහු රංගනයෙන් දායක වුණු සීයකට අධික චිත්‍රපට ගොන්නේ හැම චරිතයකින් ම පිටිසර ගැමියෙකුගේ තියෙන ගැමිකම, අව්‍යාජ බව හොඳින් ම පෙන්නුම් වුණෙත් ඔහුගේ උපන් ගම සහ ඒ සබැඳි මතක නිසයි.
රංගනයට එන්න ඔහු පාරවල් හෙවීම පටන්ගත්තේ යන්තම් ගැටවර වියට එද්දීමයි. ඔහු එතකොට දිප්පිටිගල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබමින් හිටියා. ගමේ මිතුරන් එක්ක නාඩගම් නටන්න, කවි ගී ගයන්නත් ඔහු ඉදිරිපත් වුණා. පසුකාලීන ව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙද්දීත්, නළුවෙකු වීමේ හීනය ඔහුගෙන් ඈත් වෙලා තිබුණේ නැහැ. තරුණ ජෝ රස්සාවක් හොයාගෙන කොළඹට පය තබන්නේ ඒ නිසයි.
කොළඹ ගමන
ඒ දවස්වල කිරිබත්ගොඩ තිබුණා නව ජීවන චිත්‍රාගාරය කියලා එකක්. මේක සිරිසේන විමලවීර මාස්‌ටර්ට අයිති චිත්‍රාගාරයක්. කොළඹට ආව ජෝ ට, මෙතැන සහායකයෙක් විදියට රැකියාවක් හොයාගන්න පුළුවන් වුණා. රංගනයට දක්වපු ආසාව තවතවත් වැඩි වෙන්න විතරක් නෙවෙයි, කොහොමින් කොහොමහරි ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නත් ඔහුගේ මේ කොළඹ ගමන හේතු වුණා.
සිනමා ජීවිතය
ඒ කාලේ ඉඳපු ටවර් හෝල් නළුවකු වුණු එඩී ජූනියර්, දවසක් මේ තරුණ ජෝ ව එක්කරගෙන මූනාස් නම් ව්‍යාපාරිකයකු මුණගැහෙන්න ගියා. මූනාස් ඒ වෙද්දී මදුරාසියේ තිරගත වෙන්න නියමිත “දේවසුන්දරී” චිත්‍රපටයට නළු නිළියන් හොයමින් තමයි හිටියේ.
ජෝ ගේ කතාබහ, හැසිරීම ඇතුළේ හැංගිලා තිබුණු රංගන දක්ෂතාවය හඳුනාගන්න පුළුවන් වුණේ ඔහුටයි. දේවසුන්දරී චිත්‍රපටය ජෝ ගේ පළමුවෙනි සිනමා රංගනය බවට පත්වුණේ ඒ විදියට. ඔහුට එහිදී ෆ්ලෝරීඩා ජයලත් නම් රංගන ශිල්පිනියවත් හඳුනාගන්න ලැබුණා. ඒ හඳුනාගැනීම නිසා ඔහුට “සරදම” නම් සිනමාපටයේත් විකට චරිතයකට පණ පොවන්න පුළුවන් වුණා. මේ චරිත දෙක ම සාර්ථක වුණේ ජෝගේ නම තුඩ තුඩ රන්ඳවමින්. ජෝන් අබේවික්‍රම, ජෝ අබේවික්‍රම බවට හැරවුණෙත් මේ කාලෙදීමයි.
දිගින් දිගට ම ලැබුණු චිත්‍රපට ආරාධනා අතරින්, ඔහු රඟපෑව “අල්ලපු ගෙදර” සිනමාපටයට විශේෂ තැනක් ලැබෙනවා. මොකද මේ වෙද්දී ජෝ අබේවික්‍රම මහත්මයා නිරූපණය කරපු හැම චරිතයක් ම විකට රංගනයන් ඇතුළත් වුණු ඒවා. ඒත් සාම්ප්‍රදායික විකට නළුවෙකුගේ තත්ත්වයට නොයා, උසස් මට්ටමෙන් ඒ හාස්‍යජනක චරිතවලට පණ දෙන්න ඔහුට තියෙන හැකියාව හොඳින් ම පෙනුණේ මේ අල්ලපු ගෙදර චිත්‍රපටයෙන්. මේක “අඩීතු වීටු පෙන්” කියන දකුණු ඉන්දියානු සිනමාපටයේ කොපියක් වුණත්, අපට ආවේණික ගතියක් පෙන්වන්න ඔහුට පුළුවන් වුණා. 60 දශකයේ ආව චිත්‍රපට අතරින් සෑහෙන්න ජනප්‍රියත්වයක් ලබන්න මේ සිනමාපටයට පුළුවන් වුණේ ඒ නිසයි.
කොළඹ සන්නිය, දීපශිකා, අටවැනි පුදුමය වගේ චිත්‍රපට බොහොමයකින් ඔහුගේ විකට චරිත රංගනයන් අපට දැකගන්න ලැබුණා. හැබැයි පරිපූර්ණ නළුවෙක් විදියට ඔහුගේ හැකියාව රසිකයන්ට දකින්න ලැබුණේ “වැලිකතර” චිත්‍රපටයෙන්. හාරලක්ෂය, තුංමංහංදිය, දෑස නිසා, කළු දිය දහර, සිරිබෝ අයියා, සුද්දිලාගේ කතාව, බඹරු ඇවිත්, විරාගය, සිරිපාල හා රන්මැණිකා, පුරහඳ කළුවර, අස්‌වැසුම වගේ සිනමාපටවලින් පවා ඊට නොදෙවෙනි රංගනයක් අපට දැකගන්න ලැබුණා. එදිනෙදා ජීවිතයේදී ඔහුට මුණගැහුණු විශේෂ පුද්ගලයන්, තමන්ගේ චරිතවලට ගළපන්න ඔහුට තිබූ දක්ෂතාවය මේ හැම චිත්‍රපටයක ම ජනප්‍රියත්වයට හේතු වුණා.
අප්‍රමාණ රංගවේදියෙකුගේ නික්ම යෑම
Image Credits : Dayan Witharana