බෝඩිම් ජීවිතේ කියන්නෙ කට්ටක්. අහන අහන හැමෝම කියන්නෙ එහෙම. හැබැයි බෝඩිම් ජීවිතේ තියන දුෂ්කරතා ටිකක් කූල් ඩවුන් වෙනව බෝඩිමේ තව කීප දෙනෙක් හරි ඉන්නව නං. දුක වුණත් කීප දෙනෙක් අතරෙ බෙදිල ගියාම එක්කෙනෙකුට විඳගන්න තියන ප්‍රමාණේ අඩු වෙනව නෙ! තනියම ඉන්නව නං අමිහිරි දේවල් ඔක්කොම තනියම විඳගන්න එපැයි. ඉතිං කවදහරි බෝඩිමෙන් එළියට ගිය දවසට මතක් කර කර හිනා වෙන්න තියෙන්නෙ බෝඩිමේ හිටපු කාලෙ කට්ටිය සෙට් වෙලා කරපු පිස්සු විකාර සුන්දර ගොං වැඩ තමයි.
Image: www.feyster.com/
එහෙම බෝඩිමක ඉන්නකොට ඒ කට්ටිය අතරෙන් අපිට නානාප්‍රකාර චරිත හම්බෙනවා. ඒ එක එක අය එක එක විදිහයි. ඔයත් ඉන්නෙ කට්ටියක් ඉන්න බෝඩිමක ද? ඒ අය අතරෙ මෙන්න මේ චරිතවලින් කීපයක් හරි ඇති අනිවාර්යයෙන්. හොස්ටල් එකක නම් තවත් ෂුවර්. කියවල බලන්නකො.
ලැට් දෙයියා
ඉර උදාවටත් කලින් කුකුළත් අතේ අරං නැගිටින, නැගිටල පැය හතරක් විතර බාත්රූම් එකේ ගත කරන එක්කෙනෙක් හැම බෝඩිමක ම ඉන්නවා. අනික් අය නැගිටල, බාත්රූම් යන්න හදිස්සි වෙලා, දහ පාරක්වත් දොරට තඩි බානකන් මෙයා නෑ එළියට එන්නෙ. ඒකෙ ඇතුළෙත් නින්ද යනව ද මන්දා!
පඬිතුමා
බූට් කාපු අයට උපදෙස් දෙන්න, ප්‍රශ්න ගැටලු තියන අයට අවවාද අනුශාසනා කරන්න එහෙම උපන් හපන්, අනික් අයට වඩා ටිකක් වැඩිමල් එක්කෙනෙක් මේ. අනික් අයට ඇඩ්වයිස් කළාට මෙයා බඳින වයසත් පහු කරල. තාම කෙල්ලෙක් සෙට් වෙලත් නෑ. මේ ජාතියෙ පඬිවරු බලන්නෙ ටිකක් පරණ ෆිල්ම්. අහන්නෙත් පරණ තාලෙ සින්දු.
හැකර කට
තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නෑ, ඕන තැනක ඕන වෙලාවක කට ඇරගත්ත ගමන්. කියන්නෙත් කාටහරි වදින වාචාල කතාවක්මයි. පඬිතුමා එක්ක හැම වෙලේ ම වලි. ඒ මදිවට වෙලාවකට මෙයා පඬිතුමාගෙ කැරැක්ටර් එකට මාරු වෙනවත් එක්ක.
ඩෝබි
කොයි වෙලෙත් මොකක් හරි රෙද්දක් හෝදගත්ත ගමන්මයි. කොච්චර හේදුවත් ඉවරෙකුත් නෑ. වතුර බිල ආවම සෑහෙන අනික් කට්ටියගෙ ආදරේට ලක් වෙනව විතරක් නෙමෙයි, මෙයා හින්ද අනික් අයගෙ ඇඳුම්වලට රෙදි වැලවල්වල ඉඩත් නෑ.
“මචං මේක පොඩ්ඩක් ගන්නං”
ඩෝබිගෙන් බේරගෙන කොහොමහරි රෙදි ටික වේලගත්ත කියමුකො. ඊළඟ දවසෙ බලද්දි මෙන්න ටීෂර්ට් එකේ කහට පැල්ලමක්. අනුන්ගෙන් බඩුමුට්ටු ඉල්ලගන්න පුරුදු වෙලා ඉන්න එක්කෙනෙක් ඉන්නව හැම බෝඩිමක ම. මෙයා ඇඳන් යන ඇඳුම් පැළඳුම් සපත්තු සෙරෙප්පු ඔක්කොම අනුන්ගෙ එව්වා. ඉල්ලගන්නව විතරක් නං බැරියැ, බඩුමුට්ටු මෙයාගෙ අතට ගියොත් ගියාම තමයි ඉතිං!
හොල්මන
එන්නෙ මහ රෑ. ආයෙ පාන්දර යනව. හෙවනැල්ල විතරයි පේන්නේ. එළිය තියන වෙලාවක, දවල් වරුවක හොයන්න නෑ. පොලීසියෙන් හැංගිල ඉන්න අපරාධකාරයෙක් ද මන්දා!
මල් කුමාරය
මෙයාල නං හරි සුලබයි. කොයි වෙලෙත් Nokia 1100 ඇබිත්තන් ෆෝන් එකක් කනේ තියාගෙන 24/7 කුටුකුටුව. සමහර විට අර උඩ කියපු ‘හොල්මන’ව දැකල තියෙන්න ඉඩ තියනවා. මොකද එළි වෙනකං ඇහැරල නෙ.
බෙබා
පළමුවත් බීම දෙවනුවත් බීම තෙවනුවත් බීම. බොන එක තමයි ජීවිතේ. පඩි දවසට රජෙක් වගේ. සිකුරාදට එහෙම අනික් අයට මෙයාගෙන් විසුමක් නෑ. හැම සිකුරාද ම බොන්න ගිහිං මාසෙ අන්තිම වෙද්දි මෙයා රිම් එකෙන් යන්නෙ.
කෑමදාස
බෙබාට බීම වගේ තමයි මෙයාට කෑම. කොයි වෙලෙත් ‘කා’ කියාගත්ත ගමං. කෑම ඇර වෙන ලෝකයක් දන්නෙත් නෑ ඕනෙත් නෑ. කොච්චර හරි නිවාඩු දවසට හත් අට පාරක් කෑම ඕඩර් කරනව.
කුම්භකර්ණ
දන්නව නෙ කවුද කියල. නින්ද තමයි මෙයාගෙ ජීවිතේ මූලික ම දේ. මුලින් ම නින්දට යන්නෙත්, ඔය ලයිට් එක නිවනවකො කියල බෙරිහන් දෙන්නෙත්, අන්තිමට නැගිටින්නෙත්, හැමදාම පරක්කු වෙලා වැඩට යන්නෙත් කුම්භකර්ණයා තමයි.
“කෝ බං මගෙ…”
ඇඳුම් පැළඳුම් පොත්පත් බඩුමුට්ටු අඩුමකුඩුම පුටු උඩයි මේස උඩයි ඇඳ උඩයි හැම තැන ම. ගත්ත දෙයක් තිබ්බ තැන ම ආයෙත් තියන පුරුද්දක් කොහෙත් ම නෑ. ඒ හින්ද ම ඒව හොයන එකෙත් සීමාවක් නෑ. ‘කෝ බං මගෙ අනික් මේස් එක?’, ‘කෝ බං මගෙ ඔරලෝසුව?’, ‘කෝ බං මගෙ…?’ ඉතිං අනික් අයටත් මෙයාගෙ බඩුමුට්ටු හොයල ම ඉවරයක් නෑ!