“යාපනේ තමයි යනවා”
හැබැයි ආපහු එන ගමනෙ, මාන්කුලම් කිට්ටුවෙද්දි…
“මෙහ්, පොඩ්ඩක් ඔළුව දාගෙන යංද වෙල්ලන්කුලම් පැත්තට. ෆොරස්ට් එකේ අපේ ජගා ඉන්නව කිව්වා මේ දවස් ටිකේ ඩියුටි”
“හෑ… ආ අවුලක් නෑ ඉතිං යමං. මං දන්න ජගෙක් නං නෑ. හැබැයි දැං තෝ දවස් දෙකක් තිස්සෙ මේ කොළඹ යන්නෙ ඈ… මගේ අතෙත් සතයක් නෑ, බලාංකො”
“හරි හරී… මං උඹට කිව්වනෙ වැඩිපුර දවස් ටිකේ වියදම මං බලාගන්නං කියලා, යමංකො යමංකෝ…”
කියලා හිටං ඔන්න අපේ එකා ජීප් එක හැරෙව්වා මාන්කුලම් හංදියෙන් දකුණට. හරවලා ශුෂ්ක කැළෑ ගොන්න මැදින්, අතරින් පතර හමුවෙන වෙල්, විල් සියල්ලමත් පහුකරගෙන පැයකට එහා ගමනකින් ඔන්න ෆොරස්ට් බීට් ඔෆිස් එකට. යද්දි උදේ 11ට විතර ඇති. කට්ටිය තේ බොන්න සෙට්වෙලා…
“හපෙ හප්පේ… උදයා. දකින්නත් ආසයං බොලං උඹලව.
මල්ලි… ඉතිං කොහොමද? ඔයාලත් යනවද මුං එක්ක හතර අතේ සත්තු හොය හොය?”
“ආහ්… ඔව් ඔව් අයියෙ මාත් යනවා ඉතිං. සර්පයො එහෙම තමයි ගොඩක් ම බලන්නෙ”
“එහෙනං… මෙහේ ඉඳහල්ලා දවසක් දෙකක්. ආයෙ සර්ප විමානෙ ඈ… උදයා දන්නෝනෙ ඉතිං බෝඩරේ. වරෙන් වරෙන්, කහට එකක් බීහං තල් හකුරක් එක්ක”
කතාවෙන් කතාව යාළුවො දෙන්නගෙ ආගිය කතාබස්, හිනා පෝලිම් එක පෙළට කරළියට එද්දි මං ගියා විටකුත් කටේ දාගෙන ඔෆිස් එක පිටිපස්සට. ගිහිල්ලා… පොඩි ගල් පඩියක් උඩ වාඩියක් දැම්මෙ මද්දහනෙ ගිනියමට හෙවණ දෙන්න අතුපතර විදිහදපු මයිල ගහක් යට.
‘හ්ම්… වියළි කලාපෙ වුණාට මරු!’
විටේ මතත් එක්ක ම මට පොඩි නින්දක් අල්ලලා. දඩස් ගාලා ඇහැරුනේ යාළුවගෙ කටහඬට.
“ඒහ්… මොකෝ ලයින් එක. අපි පොඩි ගමනක් යන්න කියලා. උඹ එනවැයි?”
“තොගෙ ලොකු ආච්චිට. ඇයි යකෝ මාව මෙතන දාලා යන්නද හිතුවෙ තෝ. යමං යමං. කොහෙද බෝඩරේ”
“ම්… වැව පැත්තට අදින්න කියලා බං. පෑවිල්ලත් එක්ක නිසා සත්තු ටිකකුත් ඉඳියි කියලා අරූ කිව්වෙ. නැතත් එහෙම්මම වැල්ලට ගිහිල්ලා ඉස්සො, කකුළුවො ටිකක් ගේන්න කියලා. තව ගල් දෙකක් ඉතුරුයිනෙ. මං බැලුවෙ දෙකම ගසලා දාන්න කියලා”
“මොකක්? දැන් ඒ කියන්නෙ අදත් අපි යන්නෙ නෑ.”
“හරි හරි බං !@$$%. හෙට උදෙන් ම අදිමුකො”
එතනින් එහාට මං වචනයක් කිව්වෙ නෑ. ගිහින් නැග්ගා ජීප් එකේ පිටිපස්සෙන්. වටපිට බල බල ඕන් ගමනෙ.
ගිහිල්ලා කරලා ඉස්සෙල්ලාම ගොඩවුණේ වැව් බන්ට් එකට. ගොඩවෙලා ඒකෙ ඩියුටිය ජගා අයියා බැලුවා. ඇත්තටම බලන්න තිබ්බෙ බවුසර් ගෙනැල්ලා හොරෙන් වතුර අදිනවද කියලා. එහෙම කේස් එකක් නැති නිසා… පොඩි වෙලාවකින් ඇද්දා වැල්ල කිට්ටුවට. ඇදලා තඩි කලපු කකුළුවොයි, කලපු ඉස්සොයි… ගත්තා කිලෝ 5 හාල් බෑග් එකක් පිරෙන්න.
අරගෙන ඇවිල්ලා හිටං සියල්ල බාරදුන්නෙ උයන අයියට. මාත් ඉතින් දන්නැද්ද. හරිම ඉන්ටරස්ට්නෙ ඔය උයන ඒවට. ආයෙ අඩියක් හෙල්ලුණේ නෑ කුස්සියෙන්. විටක් හපාගෙන බංකුවක වාඩිය.
“මල්ලි කොළඹෙයි?”
“ඔව් අයියා. අයියා?”
“මං කුරුණෑගල මල්ලි. රිටිගල හිටියෙ. ටික කාලෙකට මෙහෙට මාරුවක් හම්බවුණා”
“එහෙමද…? අයියා ලෙසටම උයනවා වගේ. මාත් හරි කැමතියි අලුත් අලුත් රෙසිපි බලන්න”
“ආහ්… මේක නම් එහෙමෙකට අලුත් නෑ මල්ලි. ලොකුම වැඩේ තමා සත්තු සුද්ද කරන එක. හරියට බඩ අයින් කරගත්තොත්, උයන එක ලොකු කේස් එකක් නෑ”
“අයියා දැන් ඔය හදන්න යන එක මොකක්ද?”
“මේක මල්ලි මේ අපිම හදාගත්ත එකක්. හැබැයි ජැෆ්නා ක්‍රැබ් කරි කියලා ඔයා අහල තියෙනවද?”
“ඔව් ඔව්. මම කාලාත් තියෙනවා”
“ආහ්… ඒනං හරිනෙ. අන්න ඒකෙ ම අපේ එකක්. මේකට කොත්තමල්ලි කොල, සියඹලා කොල, සූදරු, මහදුරු, උඳු, වගේ ජාති දැමෙන්නෙ නෑ. දාන්නෙ ගොරකා, සියඹලා, ඉඟුරු, සුදුලූනු, සේර, කරාබු, කුරුඳු, අමු තුනපහ, මිරිස් කුඩු, කහ, ගම්මිරිස් වගේ ටිකක්. මුලින් ම කෙහොමත් සත්තු ටික සුද්ද කරලා ගොරකා, සියඹලා, ඉඟුරු, සුදුළූණු, කහ ඇඹරුමක් දෙහි හරි විනාකිරෙන් හරි දියකරලා, අතගාලා තියනවා පැයක් හමාරක්. ඊට පස්සෙ ලොකු ඇතිලියකට මිරිස්, තුනපහ, ඉඟුරු, සුදුලූනු, රතුමිරිස් කෑලි ටිකක් ළාවට බැදෙන්න ඇරලා සුවඳ ගහගෙන එද්දිම… පදම් කරපු ඉස්සො කකුළුවො ටික දාන්න ඕන. දාලා හොඳට බැදෙන්න අරිනවා. කටු තද තැඹිලි පාට වේගෙන එනකොට තමයි වතුර දාලා, ගම්මිරිස්, කුරුඳු, කරාබුත් එකතු කරලා තැම්බෙන්න අරින්නෙ. ඒ තැම්බෙද්දි ඉතින් හොද්ද ඕන නම් එහෙම ගන්නත් පුලුවන් නැත්නම් හින්දලා ගන්නත් පුලුවන්.”
කියලා විස්තරේ කිය කිය ඉව්වට… මම පොඩියක් නාගෙන එනකොට මෙන්නෙ මේසෙ උඩ…
රතු බතුයි, ඉස්සො-කකුළු හොද්දයි, පරිප්පුයි, පොලුයි.
බුදු සන්තෝ… කෑවා නෙවෙයි යාළු බඩ නිකම් පිපිරෙන්න ඔන්න මෙන්න!