This post is also available in English.
මේ පාර වෙසක් එක වෙන අවුරුදුවල තරම් ම සතුටුදායක නෑ. හේතුව තමයි මේ වෙනකොට රට පුරා ගංවතුර සහ නායයාම් නිසා ගොඩදෙනක් විපතට පත්වෙලා ඉන්න එක.
ඉතින් මේ වෙසක් එකේ වැස්සෙන් විපතට පත්වෙලා ඉන්න අයට උදව්වක් කරන්න තැමති නම් මේ අයත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන්. ඒ අතරෙ වැස්ස නොතකා කොළඹ ගොඩක් තැන්වල මෙදා පාරත් ජයටම වෙසක් සමරනවා. මේ මෙදාපාර කොළඹ වෙසක් බලන්න යනව නම් අනිවාර්යයෙන් යන්න ඕන තැන් ටිකක්.
වෙනද වගේ ම නවම් මාවත සහ බේරේ වැව අවට ප්‍රදේශය මුල්කරගෙන ගංගාරාම වෙසක් කලාපය මේ පාරත් පැවැත්වෙනවා. බුද්ධරශ්මි ජාතික වෙසක් මංගල්‍යයට මේ පාර අගමැති කාර්යාලයේ අනුග්‍රහයත් ලැබෙනවා. හුණුපිටිය ගංගාරාම විහාරයෙන් සංවිධානය කරන මේ වෙසක් කලාපය මැයි 21 සිට 25 දක්වා පැවැත්වෙනවා.
Photo Credit: Nazly Ahmed
බෞද්ධාලෝක මාවතේ තියෙන බෞද්ධාලෝක වෙසක් කලාපය මේ පාර කරන්නේ අයිටීඑන් සහ ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන්. ජනාධිපති කාර්යාලය සංවිධානය කරන ජංගම භක්තිගීත රථයකුත් 20 වන සිකුරාදා හවස 6.30 පටන් කොළඹ නගරය පුරා සැරිසරන්න නියමිතයි. බෞද්ධාලෝක වෙසක් කලාපය 24 වන දා වෙනතුරු පැවැත්වෙනවා.
කැපිටල් මහාරාජා සංවිධානය සහ ජෝන් කීල්ස් සමාගම එකතුවෙලා පවත්වන සිරසා නමාමි වෙසක් කලාපය පැවැත්වෙන්නේ බේබෲක් පෙදෙසේ තියෙන සිරස ප්‍රධාන කාර්යාලයේ. මැයි 21, 22 සහ 23 යන කියන දින තුන පුරා පැවැත්වෙන මේ වෙසක් කලාපයේ දී බුදුන්ගේ කේෂධාතු සහ මහරහත් ධාතු ප්‍රදර්ශනයකුත් පැවැත්වෙනවා.
නොනැවතී වහින වැස්සෙන් කැළණි ගඟ දෙගාඩතලා ගිහින් තිබුණත් අවුරැදු ගාණත් තිස්සේ පැවැත්වෙන දෙමටගොඩ තොරණ, පෑළියගොඩ තොරණ සහ කොස්ගස්හංදිය තොරණ මේ පාරත් සුපුරැදු පරිදි ඉදිකෙරෙනවා. අවට ගොඩක් ප්‍රදේශ යටවෙලා තිබුණත් ගොඩක් දුරට තොටළග තොරණත් තියෙන්න ඉඩතියෙනවා. කොහොම වුත් මේ පාර තොටළග තොරණ තියෙනවද කියල හරියට ම දැනගන්න අපි කරපු උත්සාහය සාර්ථක වුණේ නෑ.
මහරගම සහ කොට්ටාව වෙසක් තොරණ නම් පුරුදු පරිදි මේ පාරත් පැවැත්වෙනවා. නුගේගොඩ සහ රාජගිරිය වෙසක් තොරණුත් තියනවා කියල තමයි ආරංචි.
මීට අමතරව රට පුරා ම හැම බෞද්ධ ගෙදරක ම වගේ වෙසක් කූඩුවක් වරදින්නෙ නෑ. කොළඹ නරගය පුරාත් විවිධ සංවිධාන සහ සමාගම්වලින් කරන තොරණ, වෙසක්කූඩු සහ දන්සැල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.
කොහොම වුණත් වෙසක් බලන්න එන වාහන නිසා කොළඹ නගර සීමාව ඇතුලේ ගොඩක් පාරවල් වල වාහන තදබදය නම් වෙනද වගේ සැරට ම තියේවි. ඒ නිසා පුද්ගලික වාහනවලින් එන්නැතුව පාරේ බස් එකේ හරි, කට්ටිය එක්ක එකතුවෙලා හරි එන්න පුළුවන් නම් වඩා හොඳයි. පුද්ගලික වාහනයකින් එනව නම් වාහනය කොහේ හරි පාර්ක් කරලා පයින් ඇවිදින එක තමයි නුවණට හුරු. නැත්නම් එළිවෙනකල් ම වාහන තදබදයට අහුවෙලා ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. road.lk එකෙන් වගේ ම Google Live Traffic එකෙනුත් වාහන තදබදය කොහෙමද කියල බලාගන්න පුළුවන්.
ඒ කොහොම වුණත් කොළඹ වෙසක් බලලා සතුටු වෙන අතරේ, වැස්සෙන් විපතට පත්වුණු අයටත් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. උන්හිටි තැන් වගේ ම සමන්ගේ සමීපතමයනුත් අහිමි වෙලා ඉන්න අපි වගේ ම පිරිසකට ඒක ලොකු සහනයක් වේවි. ඒ වගේ ම ඒක ඔයාගේ වෙසක් දවස වඩා අර්ථවත් කරාවි.