මේ එන්නෙ රාමසාන් කාලේ. මුස්ලිම් නොවන ගොඩක් අයට රාමසාන් කීවම මතක්වෙන්නෙ උපවාස කරන එක ගැනයි වටලප්පම් ගැනයි විතරයි. ඒත් ඇත්තට ම මොකක්ද මේ රාමසාන් කියන්නේ?
කැලැන්ඩරේට අනුව
රාමසාන් කියන්නේ අරාබි කැලැන්ඩරයේ නවවන මාසය. හරියට අවුරැදු මාසෙට සිංහල ක්‍රමේට බක් මාසේ කියනවා වගේ.
ආගමට අනුව
ඉස්ලාම් ආගම අදහන අයට රාමසාන් කියන්නේ ශුද්ධ වූ මාසයක්. උපවාසය කියන්නේ ඉස්ලාම් ජීවන සැලැස්මේ පංචමහා වගකීම්වලින් එකක් නිසා සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ගැහැණු පිරිමි හැම කෙනෙක්ම උපවාස කරන්න ඕන. මේ මාසය ශුද්ධ වූ මාසයක් වෙන්න හේතුව තමයි නබිතුමාට (දේවදූතයෙක්) කුරාණය හෙළිකරලා තියෙන්නේ මේ මාසේ. හරියට ම දවස මොකක්ද කියල දන්නෙ නැති වුණත් මාසේ අග හරියෙ දී තමයි මේක සිද්ධවුණා කියලා විශ්වාස කරන්නේ. ඒ රැයට කියන්නේ ‘ලෙයිලතුල් කදර්’ කියලා.
කුරාණයේ පරිච්ඡේදයක් ම වෙන්කරලා තියෙනවා මේ රැයට. ඒකේ තියවෙන්නෙ මේ ‘රෑ වෙන රැයවල් දාහකට වඩා උසස්’ කියලා.
මේ රැය ආශිර්වාදලත් රැයක් නිසා එදාට කරන හොඳ වැඩවල ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙනව කියල තමයි මුස්ලිම් අය විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ස්වර්ගෙට යන්න තියෙන චාන්ස් එක වැඩිවෙනවා. ඒ වගේ ම පව් සමාකරගන්නත් මේක හොඳ කාලයක්.
ඉතින් උපවාස, යාඥා වගේ දේවල්වලට වැඩියෙන් සම්බන්ධ වෙලා වැඩියෙන් පින් කරගන්න මුස්ලිම් අය මේ කාලේ දී උත්සාහ කරනවා.
උපවාස කරන්නෙ ඇයි?
භෞතික දේවලින් ඈත්වෙලා හික්මීම, කැපකිරීම පුරැදුකරන්න තමයි උපවාස කරන්නේ. ඒක හරියට ආශාවන් අතඇරලා දවස ගතකරන්න පුරුදු වෙන භාවනාවක් වගේ. ඒ වගේ ම අපට අඩුවක් නැතුව කන්න බොන්න ලැබිලා තියෙන එක කොච්චර දෙයක්ද කියලා මතක්කරගන්න වගේ ම කන්න බොන්න නැති දුප්පත් අයගේ දුක හඳුනාගන්නත් මේකෙන් පුළුවන් වෙනවා.
ඊඩ් උත්සවය
උපවාස මාසයේ අවසානය සමරන්න තමයි ඊඩ් උත්සවය තියන්නේ. එදා උදේට විශේෂ යාඥාත් පැවැත්වෙනවා.
පවුලේ අය ඔක්කොම එකතුවෙලා තමයි මේක සමරන්නේ. ඒ වගේ ම නෑදැයන්ගේ, යාළුවන්ගේ ගෙවල්වලටත් යනවා. පොඩි අයට තෑගි හැටියට සල්ලි දෙනවා. ලොකු අයට දෙන්නේ ඇඳුම්.
වටේටම බිරියානි, වටලප්පන් බෙදන නිසා මුස්ලිම් නොවන අයත් මේ දවස ගැන නම් ගොඩක් උනන්දුයි.
අවසාන වශයෙන් අපේ මුස්ලිම් යාළුවෝ ඔක්කොට ම ‘රාමසාන් කරීම්’ කියල කියන ගමන් බිරියානි, වටලප්පන් බෙදද්දි අපිවත් අමතකකරන්න එපා කියල මතක්කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.