ප්‍රේම සබඳතාවක් බිඳ වැටෙන එක සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ජීවිතේ එක පාරක්වත් අත්විඳපු දෙයක්. අපි කාලයත් එක්ක වයසින් පරිණත වෙද්දි නම් මතක් කරල හිනා වෙන්නත් පුළුවන් දෙයක් බවට ඕක පත් වුණාට මොකද, ප්‍රේමය බිඳ වැටුණ මොහොතෙ ඒක දැනෙන්නෙ මුළු ලෝකෙම නැති වුණා වගේ නේ. සමහරුන්ට මේ වගේ අවස්ථාවක් දරාගන්න හිතේ හයිය තිබුණට, තවත් සමහරු මෙහෙම දේකට මූණ දුන්නම ජීවිතේ නැති කරගන්න පවා පෙළඹෙන විදිහ අපි ඕන තරං දැකල තියනවා.
කොහොම වුණත්, ප්‍රේමයක් බිඳ වැටෙනවා කියන්නෙ ජීවිතේ ගලාගෙන යද්දි සිද්ධ වෙන තවත් එක සිද්ධියක් විතරයි කියල හිතන්න පුළුවන් නං, මෙහෙම වෙලාවක ඇති වෙන වේදනාවෙන් එළියට එන්න පහසු වෙනවා. ඒකට කරන්න ඕන අපි හිතන විදිහ වෙනස් කරගන්න එක.
ප්‍රේමයක් බිඳ වැටුණ වෙලාවක ඇති වෙන ආවේගය, කෝපය, දුක, වේදනාව වගේ හැඟීම් නිසා අපි අතින් සිද්ධ වෙන සමහර දේවල්, ඇති වෙලා තියන තත්ත්වය තවත් නරක අතට හරවනවා. ඒ නිසා ඒ වගේ දේවල් කීපයක් ගැන මතක් කරන්නයි අපි හදන්නෙ. ඉතින් කොච්චර අමාරු වුණත් මේ දේවල් කිරීමෙන් වැළකෙන්න. ඔයාගෙම හොඳට..
1 පරණ දේවල් මතක් කරන්න එපා
කිසිම තේරුමක් නැති වැඩක්. අර කවුද කියනවා වගේ පැමිණි දුක් පැණි රසයි කියල හිතලා පරණ දේවල් මතක් කර කර දුකේ ඇලී ගැලී ඉන්න එකෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ. එහෙම හිතුවට හිත ඒක පිළිගන්නේ නැති වෙයි. එතකොට වෙච්ච දේ වෙලා ඉවරයි කියලා හිතට ඒත්තු ගන්නන්න උත්සාහ කරන්න. ඒ වෙච්ච ඔක්කොම අයිති අතීතෙට නේ. අතීතෙ කියන්නෙ කොච්චර පණ දාගෙන හිතුවත් වෙනස් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ ෆෝකස් කරන්න ඕන අතීතෙ ගැන නෙවෙයි, වර්තමානය ගැන කියලා හිතන්න.
2 ස්ටෝක් කරන්න එපා
ඔයාගෙ හිටපු පෙම්වතාගේ/ පෙම්වතියගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල්වලට ගිහින් ස්ටෝක් කරන්න එපා. එයා දැන් මොනවද කරන්නේ, කාත් එක්ක ද ඉන්නේ, කීයටද ඔන්ලයින් ආවේ, අනංමනං ඔක්කොම දැන් ඔයාට වැඩකට නැති දේවල්. ඒවා හොය හොය ඔළුව නරක් කරගන්න එපා. ඔයාට පරණ ජීවිතෙන් මිදිලා මූව් ඔන් වෙන්න ඇත්තට ම ඕන නම් කරන්න ඕන හොඳ ම දේ තමයි එයාව පෙනෙන, ඇහෙන මානෙන් සම්පූර්ණයෙන් අයින් වෙන එක.
3 තනි වෙන්න එපා
බ්රේක් අප් වුණාම හිතට එන මුල් ම සිතුවිල්ල තමා ‘මට දැන් කවුරුත් නෑ’ කියන එක. ඒ වුණාට මෙහෙම මෝඩ අදහස්වලින් හිතට ඔයාව රවට්ටන්න දෙන්න එපා. කවුරුත් ඕන නෑ කියල හිතලා තනියම කාලය ගෙවන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ ඔයා ඔය වැටුණ වලේ තව තව පතුලට ම ඇදිල යන එක. ඒ වෙනුවට කරන්න ඕන ඔයා ඒ වලෙන් ගොඩට එන එක. මේක ඒ වගේ දෙයක් තනියම කරන්න අමාරු වෙලාවක්. ඒ හින්දා ඔයාගෙ ළඟ ම පවුලේ අයට, යාළුවන්ට කතා කරන්න. හිතෙන හැමදේම ඇහුම්කන් දෙන කෙනෙකුට කියන්න. ඒක ඒ අයට වදයක් කියල හිතන්න එපා. ඔයාගෙ ඔළුවෙ තෙරපෙන දේවල් කාටහරි කිව්වම ලොකු සහනයක් දැනෙයි.
4 වරද පටවගන්න එපා
‘මෙහෙම වුණේ මගේ වැරැද්දෙන්’ කියල හිතලා ගිල්ටි වෙන්න එපා. එතකොට එන පසුතැවිල්ල නිසා එතනින් එහාට අඩියක්වත් තියන්න බැරුව යයි. ඒකෙන් ඔයා ඔයාට ම දඬුවම් කරගන්නත් ඉඩ තියනවා. ඒ වගේ ම ‘එයා තමයි වැරැද්ද කළේ’ කියල එයාගෙ පිටේ වරද පටවන්න යන්නත් එපා. එතකොට ඔයාගෙ හිතේ ඇති වෙන්නෙ වෛරයක්. ඒකත් ඔයාට හොඳ තත්ත්වයක් නෙවෙයි. හමු වීම් වෙන් වීම් කියන්නෙ සම්බන්ධතාවල ස්වභාවය. ඒකට එක්කෙනෙකුගේ හෝ දෙන්නගෙම පැත්තෙන් සිදු වුණු දේවල් බලපාන්න පුළුවන්. ඒත් එක එක්කෙනාට ඇඟිල්ල දික් කරගත්තා කියල වෙච්ච දේ වෙනස් වෙන්නෙ නෑනේ. අනික මිනිස්සු කියන්නෙ වැරදි සිද්ධ වෙන්න පුළුවන් සත්තු ජාතියක්.
5 එයාට කතා කරන්න එපා
ඈත් වෙන්න. මෙහෙම වෙලාවකදි කළ යුතු හොඳ ම දේ තමා ඒ ඇති වුණ ප්‍රශ්නෙන් ඈත් වෙන එක. එයාට කතා කර කර චෝදනා කරන්නවත්, සමාව ගන්නවත් යන්න එපා. නැවත නැවත කතා කිරීමෙන් දැනටමත් තියන තුවාල තවත් පෑරෙනවා. ඒ වගේ ම තත්ත්වය තව සංකීර්ණ වෙලා අවුල් වෙනවා. කාලය ගෙවිලා තුවාල සනීප වෙලා ගියාම කවදහරි ආයෙත් එයාට කතා කරන්න දවසක් එයි. හැබැයි ඒ අද හෙට නෙවෙයි. ඒ වෙනකන් හිත පාලනය කරගන්න. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන බලාගන්න. එයාට එයාගෙ ජීවිතේ ගැන බලාගන්න ඉඩ දෙන්න.
6 බලාපොරොත්තු අත් ඇරගන්න එපා
එක සිද්ධියක් නිසා ඉවර වෙන්න තරම් ඔයාගෙ ජීවිතේ පුංචි නෑ. ඉතින් මේක අවසානය කියල හිතන එක නවත්තන්න. ඔයා නොදන්නවා වුණාට ඕන දේකට මූණ දෙන්න පුළුවන් තරමට ඔයාගෙ හිත හයියයි. ඒ නිසා හැම දේක ම හොඳ පැත්ත දකින්න උත්සාහ කරන්න. කාලෙකට පස්සෙ ලැබුණ නිදහස හොඳට විඳින්න. තමන් ගැන, මිනිස්සු ගැන, අතීතය ගැන වගේ ම අනාගතය ගැනත් හුඟක් දේවල් තේරුම් ගන්න මේ කාලය ප්‍රයෝජනවත් වෙයි. හොඳට හිතේ තියාගන්න, කිසිම හේතුවක් නිසාවත් ජීවිතේ ගෙනියන්න ඕන පස්සට නෙවෙයි, ඉස්සරහට විතරයි.