යන්තන් ඇති! සම්පූර්ණ මාස දෙකකට පස්සේ ඔන්න අද, මැයි 26 වෙනිදා පළමු වතාවට (සීමිත කොන්දේසි කීපයක් යටතේ) රට විවෘත වුණා. ඉතින් මාස දෙකක් ගේ ඇතුළේ හිර වෙලා හිටපු හැමෝටම ‘යන්තන් ඇති’ කියල හිතෙන එක පුදුමයක් නෙමෙයි.
කොහොම වුණත් ටික කාලයක් යනකන් තවදුරටත් ජන ජීවිතය ඉස්සර තිබුණු සාමාන්‍ය තත්ත්වයට ම පත් වෙන එකක් නෑ කියල කාට කාටත් තේරෙනව නේ.. කොරෝනා අවදානම තාමත් සම්පූර්ණයෙන් පහ වෙලා නෑ. තාමත් දවසින් දවස අලුත් රෝගීන් හඳුනා ගැනෙනවා. ඒ නිසා එළිපහළියට බහින්න දැන් අවස්ථාව ලැබුණත්, අපි හැමෝම සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ.
ඉතින් ඇඳිරි නීතිය ඉවත් කරලා රට විවෘත කරලා තියන මේ වෙලාවේ, අපි මුලින් ම කරන්නෙ මොකද්ද?
මේ ප්‍රශ්නෙට එක එක්කෙනාට එක එක උත්තර තියෙයි. මේ උත්තරේ කොරන්ටීන් කාලේ අපි හැමෝම ප්ලෑන් කරමින් හිටියා. සමහරුන්ට ඕනේ තමන්ගේ පවුලේ අය, නෑදෑයන්, ආදරේ කරන කෙනා බලන්න යන්න, සමහරුන්ට ඕනේ යාළුවො හම්බෙන්න, සමහරුන්ට ට්‍රිප් යන්න, තවත් සමහරුන්ට ඕනේ පුළුවන් තරම් ඉක්මනට ආයෙත් ඔෆිස් ජීවිතේට යන්න.. ඔයාගෙ උත්තරේ මොකක් වුණත්, මේ හැම දෙයක් ම කරන්න ඕනේ තාමත් කොරෝනා අවදානම පහ වෙලා නැති බව ඔළුවේ තියාගෙනයි. ඔයා තියන ඕන ම අවදානම් සහගත පියවරකින් තාමත් ඔයාට කොරෝනා වැළඳීමේ හැකියාවක් තියනවා.
එළියට යනවා නම්..
රට විවෘත කරපු නිසා ගෙදරින් එළියට, ටවුමට, මාකට් එකට, ඔෆිස් එකට එහෙම යනවා නම්, අනුගමනය කරන්න ඕන ක්‍රියා පිළිවෙත් ගැන අපි කලින් ලිපියක විස්තරාත්මකව කතා කළා ඕගොල්ලන්ට මතක ඇති.
විශේෂ ම දේ තමයි, එළියට යන හැම මොහොතක ම මතක ඇතිව මාස්ක් එක පළඳින්න. නිතර අත් හෝදන පුරුද්දත් දිගට ම පවත්වාගෙන යන්න. ඒ වගේ ම කාටවත් ඕනවට වඩා ලං නොවී ඉන්නත් අමතක කරන්න එපා. හැම වෙලේ ම මීටරයක වත් දුරක් පවත්වාගන්න. ඔයා එළියට යද්දි ගෙනියන බෑග් එකේ ඇල්කොහොල් බේස්ඩ් හෑන්ඩ් සැනිටයිසර් එකක් තියාගන්න.
මීට අමතරව හැකි තරම් දුර ගමන් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. අත්‍යවශ්‍ය ම දේවල්වලට විතරක් එළියට යන්න. අත්‍යවශ්‍ය දේවල් කියන්නේ රාජකාරි කටයුතු සහ ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම වගේ දේවල්වලට. ට්‍රිප්, දුර ගමන්, නෑදෑයන් බැලීම වගේ දේවල්වලට යන්න තාමත් කල් වැඩියි.
ඒ වගේ ම සෙනඟ ගොඩක් එක්රැස් වෙන, ගැවසෙන තැන් මඟ අරින්න. පාටි, යාළුවො එක්ක සෙට් වෙන එක එහෙම තාමත් තියෙන්නෙ අවදානම් කලාපයේ. ඒ විතරක් නෙමෙයි, ජිම් යන එක ගැන, ෂොපිං යන එක ගැන එහෙමත් දැම්මම හිතන්න එපා. මේ ඔක්කොම තව ටිකක් කල් දාන්න පුළුවන් නං වඩා හොඳයි.
හැම වෙලේ ම ඔයා යන එන තැන් ගැන අවධානයෙන් සහ සිහියෙන් ඉන්නත් අමතක කරන්න එපා. තමන් අවට කොහෙහරි රෝගීන් ඉන්නවද, රෝගීන්ගේ පවුල්වල අය ඉන්නවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.
ගෙදර ඉන්න..
ඉවසීමෙන් සැනසීම කියනව නේ.. මාස දෙකක් ඉවසල හිටිය වගේ තවත් ටිකක් ඉවසීමෙන් සහ ප්‍රවේසමෙන් හිටියොත් හුඟක් හානි අවම කරගන්න අපිට පුළුවන්. ඒ නිසා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් සහ සමාජ දුරස්ථකරණ නීතිරීති ලිහිල් කිරීමෙන් මේ හම්බෙන අවස්ථාව වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. රටක් විදිහට සාමූහිකව කොරෝනා පරාද කරන්න තනි තනියෙන් ඔයාගෙ ශක්තිය සහ උත්සාහය යොදවන්න. එහෙම නොකළොත් අවාසනාවන්ත විදිහට දෙවැනි වටයකින් ආයෙමත් කොරෝනාවට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙයි.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තාමත් පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියන එකයි. රට විවෘත කළාට කොරෝනා වෛරසය තාමත් රට ඇතුළේ ඉන්නවා. අපේ පුංචි ප්‍රමාදයකින් එයාට පුළුවන් හිස ඔසවන්න.