‘රස්සා කියන්නෙ විසි වෙනි සියවසේ නිපදවීමක්. මට එහෙම එකක් ඕන නෑ.’
මෙහෙම කියන්නෙ ‘ඉන් ටු ද වයිල්ඩ්’ ෆිල්ම් එකේ ක්‍රිස්.
රස්සාවක් කරන්නෙ ජීවත්වෙන්න කිව්වට මේ වෙද්දි ලෝකෙ වැඩි හරියක් මිනිස්සු ජීවත්වෙන්නෙ ම රස්සා කරන්න. වැඩට යනවා ඇර වෙන වැඩක් නැති තරමට දැන් මිනිස්සු බිසී. කොහොම වුණත් රැකියාවක් නොකර ජීවත් වෙන්න බැරි වටපිටාවක් ලෝකේ නිර්මාණය වෙලා තියන නිසා, රැකියාව කියන එක මිනිස්සුන්ගෙ ජීවිතේ ප්‍රධාන අංගයක්. ඒ හින්ද ම ඒක අසතුටුදායක එකක් වුණොත් ජීවිතෙත් අතෘප්තිමත් වෙන්න පුළුවන්.
මේ නිසා රස්සාවකට යද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් ගැන පැහැදිලි කරන්න අපි හිතුවා. රස්සාවල් හොයාගන්න එක හිතන තරම් ලේසි නැති නිසා, සමහරුන්ට නම් රැකියාවක් තෝරද්දි මේ කරුණු ඔක්කොම සලකා බලන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මේවයින් කීපයක් ගැන හරි හිතුවොත්, ඒක ඔයාගෙ අනාගත යහපතට හේතු වෙනව කියල අපිට සහතිකයි.
1 වැටුප
ඕනම කෙනෙකුට රස්සාවකට යන්න ප්‍රධාන ම හේතුව ආදායම් ඉපයීම නේ. ජීවිත කාලෙට ම ඇති තරමට අතේ සල්ලි තියනව කියල හිතෙනව නං රස්සාව කියන අමතර බරට කරගහන්න ඕනකමක් නෑ. ඉතිං රැකියාවක් තෝරද්දි ඔයාගෙ අධ්‍යාපන, වෘත්තීය සහ අමතර සුදුසුකම්වලට ගැළපෙන වැටුපක් ඒගොල්ලො ඔයාට දෙන්න ලෑස්ති ද කියල හිතන්න ම ඕන. අඩු පඩියකට වැඩියෙන් වැඩ කරන එක වගේ ම, වැඩි පඩියකට අඩුවෙන් වැඩ කරන එකත් ආචාර ධාර්මික නෑ.
2 තැන
අලුතෙන් යන රැකියා ස්ථානය මොන වගේ ද තැනක් ද කියල හොයා බලන එක වැදගත්. ආයතනයේ සංස්කෘතිය ඔයාගේ සුදුසුකම්වලට, පසුබිමට සහ පෞරුෂයට ගැළපෙනව ද, ඔයාට අනුගත වෙන්න පුළුවන් වටපිටාවකින් යුතු තැනක් ද කියල දැනගෙන ඉන්න ඕන. විශේෂයෙන් මෙතන ඔයාගෙ දියුණුවට ඉඩ දෙනව ද, සේවකයන්ට නම්‍යශීලීව සලකනව ද කියලත් දැනගන්න උත්සාහ කරන්න.
3 කරන්න ආස දෙයක් ද?
රස්සාවෙ දි ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කරන්න කැමති දෙයක් ද? මේ ගැන විශේෂයෙන් හිතන්න. දවසින් වැඩි වෙලාවක් තමන් අකැමැති දෙයක් කරන්න සිද්ධ වෙනව කියන්නෙ ජීවිතේ එපා වෙන වැඩක් නෙ. රස්සාව විදිහට කරන්න තියෙන්නෙ තමන් කැමති දෙයක් නං, ඔයා කරන දේ හැම වෙලේ ම එන්ජෝයි කරන්න පුළුවන් නං, කරන්නෙ රස්සාවක් කියන එක අමතක වෙලා, ඒක ජීවිතේ සතුටින් ගෙවෙන වෙලාවක් වෙයි.
4 වටේ ඉන්න කට්ටිය
එතන වැඩ කරන අය කොයි වගේ ද කියන එක අනික් කාරණා තරමට ම ඉතා ම වැදගත්. ඔයා රැකියාව කරන්න යන්නෙ මානසික පීඩා ගෙන එන තැනක නං ඒක ඔයාගෙ සෞඛ්‍යයට නරක විදිහට බලපානවා. බොහොමයක් රැකියාවල දි වැඩ කරන්න තියෙන්නෙ සාමූහිකව. ටීම් එකක් විදිහට වැඩ කරද්දි ගැටුම් ඇතිවෙන එක ස්වාභාවික වුණත්, වඩාත් වැදගත් වෙන්නෙ ඒව කළමනාකරණය කරගෙන, ප්‍රශ්න විසඳගෙන වැඩ කරන්න පුළුවන් සාමූහිකත්වයක් සහ කැපවීමක් ඔවුන් අතරෙ තියනව ද කියන එකයි.
5 පෞද්ගලික ජීවිතේට බලපාන විදිහ
රස්සාවට මුල් තැන දෙන්න ගිහින් පෞද්ගලික ජීවිතේ අසතුටින් ගෙවන මිනිස්සු ඔයාට ඕන තරම් හම්බෙලා ඇති. මේ දෙක බැලන්ස් කරගන්න දන්නෙ නැති එකයි ඒකට හේතුව. කාර්යාලය වගේ ම ගෙදරත් සමබර කරගන්න නම් කාර්යාලයෙන් වගේ ම ගෙදරිනුත් ඒකට උදව් ඕන වෙනවා. ඔයාගෙ ජීවිතේ අනික් දේවල්වලට, ඒ කියන්නෙ පවුල, විනෝදාංශ, ක්‍රීඩාව, සෞන්දර්ය වගේ දේවල් විඳින්න රස්සාවෙන් බාධා වෙනව නම් ඒක ගැටලුවක්. ඉතින් සමබර ජීවිතයක් ගෙවන්න පුළුවන් රස්සාවක් තෝරගන්න.
සමහර විට ඔයා කරන්න යන පළවෙනි රස්සාවෙදි මේ ඔක්කොම හොයා බලන්න ඔයාට ඉඩක් නොලැබෙන්න පුළුවන්. ඒත් කල් ගත වෙද්දි, පරිණත වෙද්දි ඒකට ක්‍රම සහ විධි ඔයාට හම්බ වෙයි. අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ජීවිතේ සාර්ථක කරගන්න මාර්ග විවර වෙනවා කියල අවසාන වශයෙන් මතක් කරන්න ඕන.