සාමාන්‍යයෙන් පොඩි අය අඬනකොට හුඟක් දෙමාපියන්ට කේන්ති යනවා, දුක හිතෙනවා, බය හිතෙනවා, කලබල වෙනවා, නැත්තං මොකද්ද කරන්න ඕන කියල හිතාගන්න බැරුව යනවා. ඒ වෙලාවට දෙමාපියන්ට අවශ්‍ය වෙන්නෙ කොහොම හරි ඇඬිල්ල නවත්තගන්න. ඒ නිසා අඬන පොඩ්ඩා නළවගන්න කරන්න පුළුවන් හැම දේ ම කරනවා. එයා ඉල්ලන ඕන ම දෙයක් අතට දෙනවා. එයා කියන ඕන දෙයක් කරනවා. පොඩ්ඩෝ අඬන එක නරක දෙයක් විදිහට තමයි හුඟක් දෙමාපියො සලකන්නෙ.
හැබැයි විශේෂඥයන් උපදෙස් දෙන්නේ පොඩි අය අඬද්දි මෙහෙම කලබල නොවී, වැඩිහිටියො පොඩ්ඩන්ට ඇති තරං අඬන්න දෙන්න ඕන කියලා. ඔවුන් කියන විදිහට අඬනවා කියන්නෙ නිරෝගි දෙයක්. ඉතින් අඬන එකෙන් දරුවන්ට ලැබෙන වාසි ගොඩක් තියනවා. මේ ලිපිය ඒ ගැන..
පීඩනය පිට කරන්න ලැබීම
අඬනවා කියන්නෙ දුක හිතෙන සිතිවිලිවලින් නිදහස් වීමට අපේ ශරීරය අපට දෙන ස්වාභාවික ප්‍රතිකාරය. මේක ලොකු පොඩි ඕන කෙනෙකුට පොදුයි. අපි කිසියම් දෙයකින් පීඩනයට පත් වුණාම ශරීරය කොර්ටිසෝල් හෝමෝනය නිපදවනවා. මේ නිපදවීම සිරුරට අහිතකර වෙන්නේ එයින් මොළයේ ගැටලු විසඳීමේ හැකියාව අඩාල කරන නිසා.
කොර්ටිසෝල් නිපදවීම අඩු කරන්න කඳුළුවලට පුළුවන්. ඒ කියන්නෙ කඳුළු නිසා මනසට ඇති වුණු ආතතිය, පීඩනය අඩු වෙලා යනවා. මේ විදිහට පුංචි කාලෙ අඬන්න ඉඩ ඇරියම, අඬන එකෙන් ආතතිය පිට වෙන බව පොඩ්ඩා ටික ටික ලොකු වෙද්දි තේරුම් ගන්නවා. ඒක එයාගෙ මානසික සෞඛ්‍යය වඩවන්න හේතු වෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
අනුගත වෙන්න පුරුදු වීම
මොකක් හරි දෙයක් කරන්න ‘එපා’ කියනවට පොඩ්ඩෝ සාමාන්‍යයෙන් කැමති නෑනේ. එපා කිව්වම කොහොම හරි ඒක කරලා බලන එකයි පොඩ්ඩන්ගේ හැටි. හැබැයි මොකක් හරි ක්‍රමයකින් ඒකට ඉඩ දුන්නෙ නැත්තං ඒගොල්ලන්ට කේන්ති යනවා. අඬන්න පටන්ගන්නවා. මෙහෙම වෙලාවට අඬන එක නවත්තගන්න ඕන නිසා එයා ඉල්ලපු දේ කරන්න ඉඩ දෙන්න ම ඕන, නැත්තං දරුවා මුරණ්ඩු වෙයි කියල දෙමාපියෝ හිතනවා. එහෙම එකක් නෑ.
උදාහරණයක් විදිහට අපි හිතමු එයා පිහියක් ඉල්ලලා අඬනවා, නැත්තං තව පොඩ්ඩෙකුට ගහන්න ඉඩ දෙන්න කියල අඬනවා කියලා. ඇඬිල්ල නවත්තගන්න ඕන වුණාට කිසි ම විදිහකට මේ වගේ දේකට ඉඩ දෙන්න බෑනේ. ඒ නිසා කේන්තිය නිවෙනකන් එයාට අඬන්න දෙන්න. එතකොට සමහර දේවල්වලට අනුගත වෙන්න සිද්ධ වෙනවා කියන එක කාලයත් එක්ක එයාට තේරුම් යනවා. එහෙම නැතුව නළවගන්න ඕන නිසා ඉල්ලන ඉල්ලන දේ දුන්නොත් එයා ඒකට පුරුදු වෙනවා. එයා අඬනවට දෙමාපියෝ බයයි කියල දන්න නිසා එයාට ඕන හැම දේ ම කරවගන්න අඬන්න පුරුදු වෙනවා.
සමාජමය සහ භාවාත්මක සංවර්ධනය
තමන්ගෙ හැඟීම් දැනීම් ගැන තමන්ට ම අවබෝධයක් නැති එකෙන් හුඟක් වැඩිහිටියෝ පීඩා විඳිනවා ඔබ දැකලා ඇති. මෙහෙම වෙන්නේ හුඟක් වෙලාවට පුංචි කාලේ හැඟීම් පිට කරන්න ඉඩ නොලැබුණු නිසා. විශේෂයෙන් පිරිමි දරුවන්ට මේක සිද්ධ වෙනවා වැඩියි. ‘ගෑනු ළමයෙක් වගේ අඬන්න ලෑස්ති වෙන්න එපා’ කියල පිරිමි දරුවන්ට දෙමාපියෝ සැර කරනවා දැකල ඇති නේ. නියම පිරිමියෙක් නං හැඟීම් හංගගන්න ඕන කියල අපේ සමාජයේ තියන මිථ්‍යා මතය නිසා පිරිමි දරුවන් වැඩිහිටියන් වුණාට පස්සෙ විශාදය, ආතතිය, කාංසාව වගේ තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. අන්තිමේ සිය දිවි නසාගන්න තැනට පවා තල්ලු වෙන විදිහ අපි ඕන තරං දැකල තියනවා.
තමන්ට හෝ අනුන්ට හානි පමුණුවන්නේ නැතිව තමන්ගේ ආවේග පාලනය කරගන්න නං, තමන්ගේ හැඟීම් දැනීම් ගැන අවබෝධයක් ඕන කෙනෙකුට තිබිය යුතුයි. සමාජය සමග වගේ ම, තමන්ගේ ඇතුළාන්තය සමගත් නිරෝගී සම්බන්ධයක් පැවැත්විය හැක්කේ එතකොටයි. ඒ නිසා පුංචි කාලේ එයාලට හැඟීම් පිට කරන්න ඉඩ දෙන්න. පොඩ්ඩෙක් අඬනකොට ලැජ්ජා කරන්න එපා.
වේදනාව අඩු වීම
හිත රිදිලා හෝ, තුවාලයක් වැනි ශරීරයේ වේදනාවක් නිසා හෝ දරුවෙක් අඬනකොට එයාගේ ඇඟ ඇතුළේ ඔක්සිටොසින් සහ එන්ඩොර්ෆින් නිපදවෙනවා. මේවා සැලකෙන්නෙ වේදනා පහ කරලා සහනය ලබා දෙන හෝමෝන හැටියට. පර්යේෂකයන් පවසන විදිහට මානසික හෝ ශාරීරික වේදනාවකින් පීඩා විඳින දරුවාට අඬන්න එපා කියලා, අඬන එක නැවැත්වීමෙන් එයාගෙ වේදනාව වැඩි වෙනවා. ඉතින් වේදනාව පහ වෙලා යන්න ඉඩ ලැබෙන්න අඬන්න දෙන්න කියලයි ඔවුන් කියන්නේ.
චර්යාව වැඩි දියුණු වීම
දරුවන් අඬන වෙලාවට සැරවැර කරන්න යෑම, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට අයහපත් බව පර්යේෂකයන් හොයාගෙන තියනවා. මෙහෙම දෝෂ දර්ශනයට ලක් වෙන දරුවන්ට, පසුකාලීනව ආවේග පාලනය කරගැනීමේ හැකියාව සහ සමාජීය පිළිගැනීමට ලක් වෙන ආකාරයෙන් හැසිරීමේ හැකියාව අහිමි වෙලා තියනවා.
වැඩිහිටියන්ට වගේ ම දරුවන්ටත් සෘණාත්මක හැඟීම් තියන බව පිළිගන්න එක දෙමාපියන්ගෙ වගකීමක්. පොඩ්ඩා අඬනකොට ඔබ ඒක ධනාත්මක විදිහට බාර ගත්තොත්, අඬන එක වරදකාරී ක්‍රියාවක් කියල එයාලට හිතෙන එකක් නෑ. ඉතින් පොඩ්ඩන්ගේ හැඟීම් එළියට පෙන්නුවට කමක් නෑ කියල එයාලට ඒත්තු යන විදිහේ පරිසරයක් නිර්මාණය කරන්න කියලා විශේෂඥයන් දෙමාපියන්ට කියනවා. එයාලගෙ චර්යාව යහපත් අතට හැරෙන්නේ එතකොටයි.