මරණ දඬුවම, පෝරකය, එල්ලුම් ගස ලංකාවේ කාලෙන් කාලෙට මතුවෙන මාතෘකාවක්. ශ්‍රී ලංකාවේ අධිකරණය මරණ දඬුවම නියම කරන නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව ලංකාවේ මරණ දඬුවම කියන්නේ සමාව ලැබීමට ඇති අවස්ථාව අහිමි කරන ලද ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්.
දඬුවමක් විදියට එල්ලන එක හරි ද?
යම් කිසි අපරාධයක් සඳහා දඬුවමක් ලෙස යම් පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කිරීම කොතරම් සාධාරණද, කෙතරම් තාත්විකද යන්න පිලිබඳව ලෝකය පුරා පවතින්නේ විවාදයක්. අපරාධ සහ දඬුවම් සම්බන්ධ තේමාව කාලය ඔස්සේ වෙනස්වෙමින් පවතින්නක්. ඉස්සර දඬුවම් ලබාදීම තුළින් බලාපොරොත්තු වූණේ අපරාධයට ලක්වුණු අයට, නැත්එනම් ඒ්කෙන් බලපෑමක් වුණු අයට අපරාධකරුවාගෙන් පලිගැනීමේ අවස්ථාවක් ලබාදීම. අතීතයේ පැවැති දඬුවම්වල ස්වභාවය දිහා බලනකොට ඒ බව බොහාම පැහැදිළිව දකින්නට පුළුවන්. ඒත් වර්තමානය වෙද්දී අපරාධකරුවාට දඬුවම් ලබාදීමේ අරමුණ අපරාධකරුවා පුනරුත්ථාපනය කිරීම සහ ඔහුට තම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට අවස්තාව ලබා දීම දක්වා වෙනස් වෙලා. ලෝකයේ මරණ දඬුවම සහ අනෙකුත් ශාරීරික දඬුවම් බොහොමයක් රටවල් අහෝසි කරලා තියෙන්නේ මේ කියන තර්කය අනුව. ලොකයේ මරණ දඬුවමට විරුද්ධව කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වෙන්නේ මේක. සාමාන්‍යයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ බරපතල අපරාධ සඳහා; බොහො අවස්ථාවලදී මිනීමැරුම් සඳහා. මිනීමැරුමක් වගේ වරදකට දඬුවම විදියට ඒ වැරැද්ද කරන කෙනාව මරලා දානවා කියන එක කොච්චර සදාචාරසම්පන්නද ගැලපෙනවද ඒ වගේම තේරුමක් තියෙනව ද කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා.
එල්ලුවම අපරාධ අඩුවෙනවද?
මරණ දඬුවම ලබාදෙන එකෙන් සමාජයේ අනෙක් පුද්ගලයන් ඒ විදියේ අපරාධ සිදුකරන්න බය වෙනවා, අධෛර්යය වෙනවා යන්න මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂපාත කණ්ඩායම් ඉදිරිපත් කරන ප්‍රධානතම තර්කයයි. ඒත් මෙම තර්කය පවතින සංඛ්‍යාලේඛන එක්ක ගැලපෙන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම සම්බන්ධ තොරතුරු කේන්ද්‍රය (DPIC), ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක්‍රියාත්මක වන සහ නොවන ජනපද වල අපරාධ අනුපාතයන් සම්බන්ධ සංඛ්‍යාලේඛන වලට අනුව මරණ දඬුවම ක්‍රියාත්මක වන ජනපදවලට වඩා මරණ දඬුවම ක්‍රියාත්මක නොවන ජනපද වල අපරාධ අනුපාතය සැළකියයුතු ලෙස පහළ අගයක් ගන්නවා. ඒ වගේම ගෝලීය සාම දර්ශකයේ(GPI) පළමු රටවල් 10 අතරින් මරණ දඬුවම ක්‍රියාත්මක වන රටක් පවතින්නේ ජපානය පමණයි. ඒ වගේම මරන දඬුවමට පක්ෂ ව කතාකරන අය මැදපෙරදිග රටවල් සහ සිංගප්පූරුවේ අපරාධ අඩුවීම උදාහරණය විදියට අරගෙන පෙන්නවනවා. ඒත් මදපෙරදිග රටවල අපරාධ අඩු වෙනවට වැඩිය ඇත්තටම සිද්ධවෙන්නේ අපරාධ වාර්තා වෙන ප්‍රමාණය අඩුවීම. ඒ වගේම ලෝකයේ මත්ද්‍රව්‍ය, කාන්තාවන් සහ ආයුධ වැඩිපුරම ජාවාරම් සිදුවන කලාපයක් විදියට මැදපෙරදිග හඳුන්වන්න පුළුවන්. සිංගප්පූරුව ඇතුලේ තත්වය මීට වැඩිය වෙනස්, සිංගප්පූරුව වගේම ජපානය වගේ රටවල මිනිස්සුන්ගේ ජීවන රටා හරිම කාර්ය බහුලයි. ඔවුන්ගේ සංකීර්ණ සහ කාර්ය බහුල ජීවන රටා ඇතුලේ අපරාධ වගේ දේවල් වලට අවධානය යොමුකරන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ වගේම මේ රටවල මිනිස්සු පොඩි කාලේ ඉඳලා දැඩි විනයකට යටත් වෙලා හැදිච්ච මිනිස්සු නිසා ඔවුන් ඒ ජීවන රටාවෙන් එලියට යන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.
දැනට ලෝකයේ බහුතරයක් පිළිගන්න මතය වෙලා තියෙන්නේ අපරාධ අඩුකරන්න පුළුවන් මිනිස්සුන්ගේ අවබෝධය සහ ඔවුන්ගේ සිතුම් පැතුම්වල ස්වභාවය වෙනස්කිරීම තුළින් කියන එක. ඒත් ඇයි අපරාධවලට දෙන දඬුවම් වැඩි කලාම අපරාධ අඩුවෙනවා කියලා සැලකියයුතු තරම් පිරිසක් විශ්වාස කරන්නේ?
අපරාධකාරයෝ අපි වගේ හිතනවද?
ගොඩක් දෙනෙක් මේක පටලගන්න හේතුව අපරාධයක් කරන වෙලාවේ අපරාධය සිදුකරන තැනැත්තාගේ මානසික මට්ටම සාමාන්‍යයි, ඔහු කල්පනා කරන්නෙත් අපි කල්පනා කරන විදියට කියලා හිතන එක. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. අපරාධ සිදුවෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් ක්ෂණිකව ඇතිවෙන ආවේගයත් එක්ක සිදුකරන අපරාධ; අනිත් එක සැලසුම් සහගත ව කරන අපරාධ. මෙතනදී පළවෙනි වර්ගයේ අපරාධවලදී අපරාධය සිදුකරන පුද්ගලයා ලැබෙන දඬුවම් මොනවගේද කියලා කල්පනා කරන්නේ නැති තරම්. ඒක සංවිධානාත්මක ව කරන අපරාධයක් නම්, එතැනදී අපරාධය කරන කෙනා කරන්නේ අපරාධය කරලා අහුවුනොත් ලැබෙන දඬුවම් ගැන කල්පනා කරනවට වැඩිය අහුනොවෙන්න අපරාධය කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන එක.
ලංකාවේ එල්ලන්නේ නැත්තේ ඇයි?
සාමාන්‍යෙයන් රටක මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක තිරණය වෙන්නේ රටේ ප්‍රතිපත්ති අනුව වුනත්, ශ්‍රී-ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවෙන්න හේතුව එහෙම දෙයක් නෙවෙයි. ලංකාවේ පවතින නීතියට අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් රටේ ජනාධිපති මරණ දඬුවම ක්‍රියාත්මක කරන නියෝගය අත්සන් කරන්න ඕන. මේ වෙද්දී මරණ දඬුවම ක්‍රියාත්මක නොවන්නේ ජනාධිපති මේ කියන නියෝගය අත්සන් නොකරන නිසා මිසක් ශ්‍රී-ලංකාව ප්‍රතිපත්තියක් විදියට මරණ දඬුවම පිළි නොගන්න නිසා නෙමෙයි. ඒ කියන්නේ ජනාධිපතිට පුළුවන් ඕන වෙලාවක එල්ලුම්ගහ ආපහු ක්‍රියාත්මක කරවන්න.