අපි ආශ්වාස කරන වාතය, කෑමට ගන්නා ආහාර, බීමට ගන්නා ජලය වගේ ම, පෘථිවිය අපට ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කරන කාලගුණය.. මේ සියල්ල අයිති වන්නේ සොබාදහමට. උදාහරණයක් විදිහට, හැම වසරක ම අපේ වායුගෝලයේ ඔක්සිජන්වලින් හරි අඩකට වඩා නිපදවෙන්නේ මුහුදු ශාක විසින්. ඒ වගේ ම, වැඩුණු ගසක් කාබන් ඩයොක්සයිඩ් කිලෝ 22ක් පමණ උරා ගනිමින් ඒ වෙනුවට ඔක්සිජන් මුදා හරිමින්, අපේ වාතය පිරිසිදු කරනවා.
සොබාදහම කොයි තරම් අපිට ජීවත් වෙන්න අත්වැල් සැපයුවත්, අපි සොබාදහමට ඒ තරම් ආදරෙන් සලකන්නේ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒ ගැන ලෝකයට ම මතක් කරලා දෙන ලෝක පරිසර දිනය අදයි.
ඉතිහාසය
ලෝක පරිසර දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 1972 වසරේ එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින්. ඒ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසර සමුළුවේ පළමු දිනයේ දී. ඒ අනුව ප්‍රථම වරට ජාත්‍යන්තර වශයෙන් පරිසර දිනයක් සැමරුණේ ඉන් දෙවසරකට පසුව 1974 දී. එදින එහි තේමාව වුණේ ‘Only One Earth’ යන්නයි.
එතැන් පටන් වසරක් පාසා පරිසර දිනය සැමරුවත්, එක වසරකට එක රටක් බැගින් කේන්ද්‍ර කර ගනිමින් ලෝක පරිසර දින වැඩසටහන නිල වශයෙන් පැවැත්වීම ආරම්භ වුණේ 1987 සිටයි. අප අවට පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව ලෝ වටා ජනතාව දැනුවත් කිරීම හැම වසරක ම මේ දිනයේ දී සිදු වෙනවා. ඒ, විවිධ රටවල රජයන්, ව්‍යාපාර, ප්‍රකට පුද්ගලයන් සහ පුරවැසියන් ඒකරාශී කර ගනිමින්.
2020
මේ අවුරුද්දේ ලෝක පරිසර දිනය නිල වශයෙන් සැමරෙන්නේ කොලොම්බියාවේ දී. ජර්මනියත් ඒ හා අත්වැල් බැඳ ගන්නා බව සැලයි. කොරෝනා වසංගත පැතිරීම හේතුවෙන් වෙනදා මෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමුළු සහ වැඩසටහන් පැවැත්විය නොහැකි නිසා, මෙවර ලෝක පරිසර දිනය වැඩි වශයෙන් සැමරෙනු ඇත්තේ සයිබර් අවකාශය ඔස්සේ.
මෙවර පරිසර දින තේමාව වන්නේ ‘ජෛව විවිධත්වය සමරමු’ යන්නයි. එය කාලීන වැදගත්කමකින් යුතු තේමාවක් බව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය පවසනවා. ඒ, හේතු කීපයක් නිසා. පළමුවැන්න මෑතකදී බ්‍රසීලයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේ හට ගත් ලැව්ගිනි. දෙවැන්න නැගෙනහිර අප්‍රිකාවේ පැතිර ගිය පළගැටි බෝ වීමේ වසංගත තත්ත්වය. තුන්වැන්න මේ මොහොතේත් අපි ගෝලීය වශයෙන් මුහුණ දෙන කොරෝනා වසංගත තත්ත්වය.
මේ සියල්ලෙන් ම පැහැදිලි වෙන්නේ පැවැත්මේ දී මානවයා සහ පරිසරය අතර ඇති වන ගැටුම් සහගත ස්වභාවය. පෘථිවිය මත ජීවයට සහ මානව සංවර්ධනයට සහය දක්වන, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ ‘Time For Nature’ යන අදහස වටා, ඉහත කී තේමාව කේන්ද්‍ර ගත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම්ව සිටිනවා.
ජෛව විවිධත්වය
භූමිය මතුපිට සහ ජලය යට ඇති සමස්ත ජීවයට උපකාරී වන පදනම ජෛව විවිධත්වය යනුවෙන් හඳුන්වනවා. පිරිසිදු වාතය සහ ජලය, පෝෂ්‍යදායි ආහාර, විද්‍යාත්මක වටහා ගැනීම් සහ ඖෂධ මූලාශ්‍ර, ස්වාභාවික ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම් සහ කාලගුණික වෙනස් වීම් අවම කිරීම් යනාදිය අප වෙත සපයමින් එය මානව සෞඛ්‍යයේ සෑම අංශයකට ම බලපානවා. මෙකී ජාලයේ එක් අංගයක් හෝ වෙනස් කළහොත්, නැතහොත් ඉවත් කළහොත්, එය මුළුමහත් ජීවී පද්ධතියට ම බලපා, සෘණාත්මක ප්‍රතිවිපාක උද්ගත වීමට මඟ පාදනවා.
වන විනාශය, වනජීවීන් දඩයම් කිරීම, අධික කෘෂිකාර්මික කටයුතු, අධිවේගී කාලගුණික වෙනස් වීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාව ධර්මය තම සීමාවන් කරා ළඟා වෙමින් ඉන්නවා. හැම වසරක ම අපි පෘථිවියෙන් ඉටු වෙතැයි බලාපොරොත්තු වෙන ඉල්ලීම් ප්‍රමාණය, පෘථිවියට ඉටු කළ හැකි ප්‍රමාණය මෙන් 1.6 ගුණයක්! අපි මේක දිගින් දිගට ම සිදු කළොත් සිදු වන ජෛව විවිධත්ව පරිහානිය විසින්, ආහාර හා සෞඛ්‍ය පද්ධති බිඳ වැටීම වැනි මිනිස් වර්ගයා කෙරෙහි දරුණු ලෙස බලපාන ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ තියනවා.
මේ එළඹිලා තියන කොරෝනා වසංගත තත්ත්වය විසින් අපට පැහැදිලි කරලා දුන්නු එක් දෙයක් තමයි, ජෛව විවිධත්වය විනාශ කළහොත් අපි මිනිස් ජීවිතයට පදනම් වුණු මුළු පද්ධතිය ම විනාශ කරනවා කියන එක. අද වන විට ඇස්තමේන්තු කර ඇති ආකාරයට සෑම වසරක ම ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයෙන් බිලියනයක් පමණ දෙනා රෝගී වීමටත්, මිලියනයක් පමණ මිය යෑමටත් ලක් වෙනවා. ඒ වගේ ම අලුතින් මිනිසුන්ට වැළඳෙන බෝ වන රෝගවලින් 75%ක් ම සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන ඒවා බව සොයාගෙන තියනවා.
ඉතින්, මෙය ස්වභාව ධර්මය විසින් අපිට එවපු පණිවිඩයක් නෙවෙයි ද?
Time For Nature!
සොබාදහම සමග අපට ඇති සබඳතා ගැන නැවත සිතා බැලීමට සහ පරිසර හිතකාමී වගකීම් සහගත ලෝකයක් නැවත ගොඩ නැඟීමට අපට අවස්ථාවක් ලබා දීමට කොරෝනා වෛරසය සමත් වුණා. සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන රෝග වැඩි වැඩියෙන් උද්ගත වෙනවා කියන්නෙ ම මිනිස් ක්‍රියාකාරකම්වල කුමක් හෝ වරදක් තියනව කියන එක.
ගෝලීය ජනගහනය බිලියන 10ක් බවට පත් වෙමින් ඇති මේ වෙලාවේ, ජීවීන්ගේ පැවැත්ම සිදු වන්නේ ජාලයක් වශයෙන් බව අප නැවත සිහියට නඟා ගැනීම අත්‍යවශ්‍යයි. එම ජාලය ක්‍රියාත්මක වන්නේ එක් සම්පූර්ණ පද්ධතියක් වශයෙන්. එනිසා මිනිසා සොබාදහමට වඩා ඉහළින් සිටින්නේ යැයි සිතා කටයුතු කිරීමෙන් වැළකී, අපිත් මේ පද්ධතියේ ම එක් කොටසක් පමණක් බව කල්පනාවට ගැනීම වැදගත් බව, මෙවර පරිසර දිනය අපට මතක් කරනවා.