3/5

Twister (Colombo 03)

665, Galle Road Colombo 03


A restaurant serving authentic Turkish and German food.


මේ කියන්න යන්නේ කොල්ලුපිටියෙ ගාලු පාර අයිනෙ ම තියන ට්විස්ටර් එකේ තතු විත්ති. ඔඩෙල් එකේ ට්විස්ටර් එකට අපි මීට කලින් ගිහින් තිබුණට කොල්ලුපිටියෙ බ්‍රාන්ච් එකට ගියේ පළවෙනි පාරට.

තැන 

අලුත් අවුරුදු පහු වුණ ගමන්.. ඒ වගේ ම රාමසාන් කාලෙ.. ඒ අස්සෙ ආයෙත් ඉහළ යන කොරෝනා අවදානම. මේ ඔක්කොම නිසා මේ දවස්වල රෙස්ටොරන්ට්වල ඒ තරම් සෙනඟක් දකින්න නෑ. ට්විස්ටර් එකෙත් අපි යනකොට කවුරුත් ම නෑ.

මේක හොඳට ඉඩකඩ තියන තැනක්. රතුයි කළුයි පාට දෙකට වැඩි තැනක් දීලා තියන බව පෙනුණා. විස්සකට විතර එක පාර වාඩි වෙන්න පුළුවන් වෙන්න හොඳ කුෂන් පුටු ගොඩක් ඇරේන්ජ් කරලා. පිළිවෙළයි පිරිසිදුයි.

කෑම

මෙතන සබ්මැරීන්, ෂවර්මා වගේ ජාතිවලට තමයි ප්‍රසිද්ධ. ඒත් රයිස්, පැස්ටා වගේ ජාතිත් තියනවා. චිකන්, බීෆ්, වෙජි වර්ග තුනෙන් ම ගන්න පුළුවන්. හැබැයි අපි ගිය වෙලාවෙ රයිස් වර්ග සහ බීෆ් අවේලබල් නෑ කියපු හින්ද අපිට සිද්ධ වුණා චිකන්වලින් හදපු ජාති විතරක් ඕඩර් කරන්න. අපි ගත්තා චිකන් සොසේජ් ෂවර්මා එකයි (රු. 650), චීසි චිකන් ස්නැක් පැක් එකයි (රු. 700), ටර්කිෂ් චිකන් කෙබාබ් එකයි (රු. 600).

මේ තියෙන්නෙ ෂවර්මා එක. ඇතුළට ලොකු සොසේජ් කෑලි, ගෝවා, කැරට්, ලූනු, සලාද කොළ එක්ක ස්පයිසි මෙයොනීස් සෝස් දාලා. රැප් එක විදිහට පාවිච්චි කරලා තිබුණ පිටා බ්‍රෙඩ් එක හොඳට ම සොෆ්ට්. සයිඩ් එකෙන් තව ගෝවා, කැරට්, නයි මිරිස් එහෙමත් එනවා.

චීසි ස්නැක් පැක් පෝෂන් එක හෙන ම ලොකුයි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උඩට චිකන් එක්ක චීසුයි සෝසුයි මදි නොකියන්න දාලා. ෆ්‍රයිස් ටික හොඳ ක්‍රිස්පි ගතියට උණු උණුවේ තිබුණා. මේකට සෝස් ජාති දෙකක් පාවිච්චි කරලා තිබුණා. ස්පයිසි මෙයොනීස් සෝස් සහ චිලී සෝස් එකක්. ඒ හින්දා චීස් රහට එකතු වුණ සැර ගතියකුත් මේකෙන් ආවා. දෙන්නෙකුට හොඳට ම ඇති.

මේ පෝෂන් එකට ටර්කිෂ් කෙබාබ් තුනක් එක්ක පිටා බ්‍රෙඩ් සහ ස්පයිසි සෝස් එකක් එනවා. ෂවර්මා එකේ වගේ ම පිටා බ්‍රෙඩ් ටික තුනී සහ සොෆ්ට්. චිකන් ටික හොඳට මැරිනේට් කරලා කටට සුමුදුවට තිබුණා. සෝස් එක සැරයි ලුණු රහයි මික්ස් වුණ තික් සෝස් එකක්. කෙබාබ්වලට උඩින් පුංචියට කොටු කපපු කැරට්, තක්කාලි, ලූනු එක්ක කොච්චි මිරිස් එහෙමත් දාල තිබුණා.

ඔක්කොම ජාති කාල ඉවර වුණාම එක ම රහක් වගේ දැනුණේ හැම එකේ ම එක ම සෝස් ජාති ටික තිබුණ නිසා වෙන්න ඕන. ඒ වගේ ම ලුණු ගතියත් තදට දැනුණා. 

බීම විදිහට නං මෙතන තියෙන්නෙ සොෆ්ට් ඩ්‍රින්ක්ස් තමයි.

සර්විස් එක 

කෑම ටික විනාඩි දහය පහළොවක් ඇතුළත මේසෙට ආපු එක ඇරෙන්න සර්විස් එකේ කියන්න තරං විශේෂයක් නෑ. ලොකු ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැතත් ඒගොල්ලො සාමාන්‍ය විදිහට සර්ව් කළා.

අවසන් වශයෙන්

කාල ඉවර වුණාම හුස්ම ගන්න බැරි තරං මෙතන කෑම බඩට බරයි. ගාණත් ටිකක් සැරයි නේ. කොහොම වුණත් ෆ්ලේවර්ස් අතින් බැලුවම කෑම රස නිසා, මිඩ්ල් ඊස්ටන් කෑමවලට ආසයි නං ගිහින් බැලුවට පාඩු නෑ..



Latest