එක එක පුද්ගලයින්ගෙ තියෙන්නෙ එක එක කෑම රටාවල්නෙ. සමහරු නම් නොකන ජාතියක් නෑ. ඒ අතරෙ සමහර කට්ටියක් හරක් මස් කන්නෙ නැති කොට තවත් කට්ටියක් ඌරු මස් කන්නෑ. හැබැයි ඔය කොයි කොයි කට්ටිය අතරෙත් ඉන්නව මස් මාළු කටේ තියන්නෙ නැති අය. අන්න ඒ අයටයි මේ කඩ ටික.
1. Hotel New Amirthaa
මුළුමනින්ම ඉන්දියානු අවන්හලක්. කෑමවල තත්වය සුපිරියිම කියන්න බැරි වුනාට රු. 200න් 300න් කටට රසට කෑම ටිකක් බඩට දාගන්න පුළුවන්.
2. Thalis
ගාණ සැරයි. හැබයි කෑම රසයි. මෙයාලත් තනිකරම ඉන්දියානු කෑම තමයි උයන්නෙ. ඒ වුනාට හොඳ සුව පහසුවට ඉඳගෙන නිදහසේ කෑම ටික කන්න පුළුවන් අපූරු භෝජනාගාරයක් තියෙනව.
3. Shri Vani Vilas
ඉන්දියානු නිර්මාංශ කෑමවලට අළුත් අර්ථයක් දුන්න තැනක් තමයි. එළවළුවලින් හදල කියල කියන්නවත් බැරි මාරම රස කෑම ටිකක් තියෙන්නෙ. අනික සුපිරි සේවාවක් තියෙන හොඳ සුවපහසුවට හදපු භෝජනාගාරයකුත් තියෙනවනෙ.
4. Shanmugas
හරිම ලස්සන තැනක්. කෑ වල රස ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ පංකාදු පහයි. ගෙවන ගාණටත් සෑහෙන්න සාධාරණයි.ඉඩක් ලැබුණු වෙලාවක යාළුවොත් එක්ක හරි පවුලේ උදවිය එක්ක හරි රෑ කෑමකට යන්න. අමතක නොවෙන අත්දැකීමක් වේවි.
5. Sri Ariyabawan Hotel
බොරැල්ලෙ ආරිය භවන් එක කිව්වාම නොදන්න කවුරුත් නැති ගාණයි. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, මීට අවුරුදු ගාණකට කලින් ඔය හෝටලේ තිබුණ කෑම වල රස නිසා. කියන්න දුකයි දැන් නම් ආරිය භවන් එකේ කෑම ටිකක් විතර සවුත්තුයි.
6. Mathura Restaurant
තැනත් ලොකු වැඩත් ලොකු නියම ඉන්දියානු අවන්හලක්. මෙතනට ගියොත් සාම්ප්රදායික ඉන්දියානු කෑම ටිකක රස බලන්න පුළුවන්. ඒත් සේවාවයි, කෑම වල රසයි පොදුවෙ ගත්තාම නම් අය කරන ගාණ පොඩ්ඩක් වැඩියි වගේ.
7. Dwaraka
මෙතනිනුත් සාම්ප්රදායික ඉන්දියානු කෑම වේලක් රස බලන්න පුළුවන්. සුව පහසුවට හදපු ලස්සන භෝජනාගාරයකුත් තියෙනව. ඒත් කෑම වල රසයි අවන්හලේ සේවාවයි නම් ගෙවන ගාණට වටින්නෙ නෑ කියන එක තමයි මගේ අදහස.
8. Saraswathi Lodge
ලංකාවෙ අපි හරියන විදියට හදපු රසම රස නිර්මාංශ ඉන්දියානු බත් වේලක් කන්න හොඳම තැකත් තමයි. ගාණත් පොකට් එකේ ගාණට. හැබැයි ඉතින් නිදහසේ කන්න නම් ඉඩක් ලැබෙන එකක් නෑ. මොකද ඒ තරමට සෙනඟ.
9. Amriths
ගෙවන ගාණට පොඩ්ඩක් විතර පාඩු වුනත් හොඳ සුව පහසුවට ඉඳගෙන කන්න පුළුවන් නිසා අම්රිත්ස් එකත් හොඳ තැනක් කියල කියන්න පුළුවන්. කෑම වල රසෙත් කියන්න තරම් වරදක් නෑ.
10. Greenlands Hotel
අත් දැකීමෙන් කියන්නෙ. මේ කඩේ කෑම මට නම් සෑහෙන්න අවුල්. මොකද මිරිස්, තුන පහ පදමට වැටිල නැති නිසා. ඒ වුනාට මාත් එක්ක ගියපු අපේ YAMU එකේ ඉමාඩ්ට නම් ග්රීන් ලෑන්ඩ්ස් එකේ කෑම හොඳයිලු.
කොහොම වුනත් මේ නිර්මාංශ කඩ ටික කොළඹ පැත්තෙ කරක් ගහන නිර්මාංශ කට්ටියට ප්රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙ නොකිය වුනු, ඔයාලා දන්න තව තැන් තියෙනව නම් ‘කමෙන්ට්’ කරන්න අමතක කරන්න එපා.