“සූකර උණ” අපෝ ඕක අවුලක් නෑ; අපි කොහොමත් ඌරුමස් කන්නේ නෑ; ඕවා කිලි (එහෙම නැත්නම් හරාම්) ඉතින් කොහෙද සූකර උණ හැදෙන්නේ. එහෙම කියලා අපේ අයියලා හිතාන හිටියට H1N1වලට සූකර උණ කියන්නේ ඒක ඌරන්ගෙන් ඔරිජිනේට් වෙච්ච වෛරස් එකක් නිසා මිසක් ඒක ඌරන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන වෛරස් එකක් නිසා නෙමෙයි. ඒ කියන්නේ “සූකර උණ” මේ වෙද්දී 100% හලාල්.
බෝවෙන්නේ මෙහෙමයි
මේ ලෙඩේ බෝවෙන්නේ හුළඟෙන්. ඔව්, අර කුරුණෑගල පැත්තේ ඒඩ්ස් බෝවුණා වගේ. ඒ කිව්වේ මේ ලෙඩේ හැදිලා තියන කෙනෙක් කහිනකොට එහෙම නැත්නම් කිවිසුමක් යවනකොට ඒත් එක්ක විසිවෙන කෙළ බින්දු එක්කෝ අපි ආඝ්‍රහණය කළොත් එහෙම නැත්නම් ඒවා වැටිච්ච මතුපිටක් අතගාලා ආපහු ඇස්, කට, නහය ඇල්ලුවොත්, ඔව් අතින් අරන් කටේ දාගත්තොත්. ඉතින් වැඩිය සෙනග ගැවසෙන තැන්වලට නොයන එක, පොදු ස්ථානවලට ගිහිල්ලා ආවයින් පස්සේ අතපය හොඳට සබන් දාලා හෝදන එක, ඒ වගේ තැන්වලදී තමුන්ගේ ඇස්, කට, නහය වැඩිය අතගාන්නේ නැතිව ඉන්න එක වගේ දේවල්වලින් මේක වැළඳෙන්න තියෙන අවදානම අඩුකරගන්න පුළුවන්.
බඩින් නම් පරෙස්සමෙන්
මේ රෝගේ වැඩියෙන්ම බලපාන්නේ ප්‍රතිශක්තිකරණය අඩු ගර්භණී මවුවරුන් සහ කුඩා ළමයින් වගේ අයට. ඒක නිසා මේ විදියේ කෙනෙකුට උණ හැදුනනම් නැකැත් බලබලා ඉන්නේ නැතිව පුළුවන්තරම් ඉක්මනට රෝහලකට ගිහින් ප්‍රතිකාරගන්න එක තමයි හොඳම වැඩේ.
ඔව් ඉතින් හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා නම් මේ වෛරස ඇඟට ගියත් රෝගේ හැදෙන්නේ නැතිවෙන්න පුළුවන්.
මේවා තීයෙනවා නම් බඩු බනිස්
සාමාන්‍යයෙන් මේකේ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ උණ, තෙහෙට්ටුව, කැස්ස, කිවිසුම්යාම, හිසේ කැක්කුම, ආහාර අරුචිය. හැබැයි සමහර අයට බඩ එළිය යාම වගේ රෝග ලක්ෂණත් ඇතිවෙන්න පුළුවන්. කොහොමහරි දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් දොස්තර කෙනෙක් හම්බවෙන එක තමයි හොඳ.
සාමාන්‍යයෙන් වෛරස්වලට කරන්න පුළුවන් සාර්ථකම විදිය වැක්සීන් වුණත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් බොහොම ඉක්මනට වෙනස්වෙන නිසා ඒවත් එක්ක මේ සෙල්ලම හරියන්නේ නෑ. 2014 දී බ්‍රිතාන්‍යය නිකුත්කරපු ඉන්ෆ්ලුවෙන්සා වැක්සීන් එකේ සාර්ථකත්වය 3% විතර කිව්වම තත්ත්වේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේ. මේකටත් එහෙම තමයි.
කරුමෙට හරි හැදුනොත්
මේ ලෙඩේ හැදුනොත් ඉතින් කරන්න දෙයක් නෑ. විවේක ගන්න එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. මොකද මේක හොඳ වෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා. ඒකට පාඩුවේ තමුන්ගේ වැඩේ කරගන්න දීලා අපි අපේ පාඩුවේ ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ලුණු වතුරෙන් නිතරම උගුර හෝදන එක ඒ වගේම උණුසුම් දියර වර්ග ඒ කිව්වේ හොඳ එළුකටු සුප් එකක්, කුකුළු පැටව් සුප් එකක් බොන එක ලෙඩේ නිසා ඇතිවෙලා තියෙන අපහසුකම අඩුකරගන්න උදව් වෙනවා.
සාමාන්‍යයෙන් H1N1 දවස් 3 ඉඳලා දවස් 7ක් අතර කාලයක් පවතින්න පුළුවන්. රෝග ලක්ෂණ ඇතිවෙන්න දවසක් විතර කලින් ඉඳලා රෝග ලක්ෂණ ඇතිවෙලා දවස් 7ක් විතර යනකම් කාලේ ඇතුලේ රෝගියාගෙන් මේ රෝගේ බෝවෙන්න පුළුවන්. ඉතින් නිකං හරි මේක හැදුනොත් අනිත් මිනිස්සුන්ටත් ඒක බොකරන්නේ නැතිව සතියක් විතර ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.
නෑ නෑ හැදුනා කියලා වලකජ්ජ ගහන එකක් නෑ
කොහොම වුණත් H1N1 කියන්නේ අති භයානක මාරාන්තික රෝගයක් නම් නෙමෙයි නෙමෙයි. 2009 අවුරුද්දේ ඇතිවෙච්ච වසංගත අවස්ථාවෙදි මරණ අනුපාතය වුණේ 0.02% විතර. ඒක නිසා “සූකර උණ” පැතිරුණයි කියලා මේ අවුරුදු සීසන් එකේ ෂොපිං යන්න, අවුරුදු සමරන්නේ එහෙම නැතිව ඉන්න ඕන නැහැ. හැබැයි ඉතින් අවුරුදු නිවාඩුව ඇඳ උඩට වෙලා හොටු පෙර පෙර ගතකරන්නේ නැතිවෙන්න ටිකක් පරෙස්සම් වුණොත් පුළුවන් වෙයි.